May 19, 2024

රාජිතට නොකියා රට ගියාට තනතුරු අහිමි වෙයි

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතා පත් කර තිබේ.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ එම ධුරයේ කටයුතු කළ මහාචාර්ය ක්‍රිෂාන්ත විරසූරිය මහතා අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවිම හේතුවෙනි.

වෛද්‍ය කමල් ජයසිංහ මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ රසායනාගාර සේවා අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කරනු ලබයි.

මේ අතර අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවීම සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත විරසූරිය මහතාගෙන් නිදහසට කරුණු විමසන ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

එසේම පසුගියදා පැවති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන තනතුරු අහෝසි කරන ලෙස ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කිසියම් පරිපාලන තනතුරකට බඳවා ගැනීමේ දී ස්ථීර තනතුරුවලට පමණක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ තනතුරු 16ක් බඳවා ගැනීම සඳහා ඉදිරියේදී පුවත් මඟින් දැන්වීම් පළ කිරීමට එහි දී තීරණය වී ඇති අතර එමෙන්ම වසර ගණනාවක් වෛද්‍ය කළමණාකරණ සේවයේ පැවැති වැඩබලන තනතුරු 79ක් ස්ථීර කිරීමට ද තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Rate this item
(0 votes)