May 06, 2024

නව පෙරමුණේ නායකත්වය මහින්දට - සම්මත කල යෝජනා 05 මෙන්න

February 15, 2016

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නියෝජිතයන් 1401 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාොගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබේ.

මීගමුවේ හෝටලයට ඊයේ (14) රැස් වූ මෙම හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව  වෙනම සන්ධානයක් ලෙස හෝ ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට නායකත්වය ලබා දෙන්නැයි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

මේ අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්  මෑත කාලීනව පළාත් පාලන ආයතන නියෝජිතයන් ලෙස කටයුතුකළ නියෝජිතයින් 1437 දෙනා අතරින් අති බහුතරයක පිරිසක් ද සහභාගී වී සිටීමද විශේෂත්වයකි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි පළාත් පාලන  නියෝජිත පිරිස මෙම අවස්ථාවට සහභාගි  වූ අතර, එහිදී යෝජනා 05 ක් සම්මත කරගනු ලැබිණි.

එහිදී ඒකාබද්ධ පලාත් පාලන නියෝජිත සංසදයේ ජාතික මහා සම්මේලනයේදී ඉදිරිපත් කර ඒකච්ඡන්දයෙන් සම්මත වූ යෝජනා පහතින් දැක්වේ.

යෝජනාඅංක 01 

යහපාලන සටන් පාඨයට මුවා වී ජනතාව මුලාකොට බලයට පත් මෙම දෙමුහුන් ආණ්ඩුව කිසිදු සාධාරණ හෝ යුක්තිසහගත හේතුවකින් තොරව බහුතරයක් පලාත් පාලන ආයතන විසුරුවා හැරීම මගින් සකලවිධ ශ්‍රී ලංකාවාසී ජනතාවට පලාත් පාලන ආයතන මගින් සැපයෙන්නාවූ සේවා අයිතිය අත්තනෝමතික සහ ඒකාධිපති ආකාරයට අහෝසිකර තිබේ.

එම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා ජනසම්මුතිවාදී ආණ්ඩුකරණයට පටහැනිව මැතිවරණය නොපවත්වමින් හා දිගින් දිගටම කල්දැමීමත් මැතිවරණය පැවැත්වෙන තෙක් එකී ආයතන නැවත පැවති ආකාරයට බලගන්වනු ලබන්නේය  වැනි මුසාබස් පවසමින් තවදුරටත්   ජනතාව මුළා කිරීමත් ඒකාබද්ධ පලාත් පාලන නියෝජිත සංසදයේ සාමාජිකයන් වන අපි එකාවන්ව එක හඬින් දැඩිලෙස හෙළාදකින්නෙමු. එලෙසම ජනතාවගේ ප‍්‍රමුඛතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලෙස හුවාදක්වමින් නමට පමණක් සීමාකර ගොඩනැඟූ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි බලය ක‍්‍රියාත්මක කරන්නාවූ මැතිවරණ කොමසාරිස්වරයාට ජනතා පරමාධිපත්‍යයට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස යෝජනාව කරමු.

යෝජනාඅංක 02

මනකල්පිත යහපාලන ප‍්‍රාර්ථනාවෙන් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවක් අපේක්ෂා කොට ඡන්දය දුන් ජනතාවට අද ජීවත්වීමට සිදු වී ඇත්තේ ගැබිනි මාතාවගේ පෝෂණ මල්ල කපා හැරීමේ සිට වන්දනීය පූජනීය මහා සංඝරත්නය, රණවිරුවන්, සියලූම රාජ්‍ය නිළධාරීන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් ඇතුළු සමස්ත ජනතාවම පළිගැනීමට හා මර්ධනයට ලක්කරමින් සිටින “සකල බයෙන්පිරි” රටකය. තිස්වසරක ත‍්‍රස්තවාදී සාපයෙන් රට මුදාගෙන ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය සහතික කළ වරදට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් පමණක් නොව එතුමන්ගේ බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන් සහ ඥාතීන් පවා නීති විරෝධී පොලිස් ඒකකවල දී ප‍්‍රශ්න කරමින්, සිරමැදිරිවලට ගාල්කරමින් වදබන්ධන පමුණුවන නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධිපත්‍යය වනසාදමා ඇති රටකය. එබැවින් ඒකාධිපති ගමනක යෙදෙන මෙම ආණ්ඩුවේ සියළු ආකාරයේ දේශපාලන දඩයම් කිරීම් අපි තරයේ හෙළා දකින්නෙමු. එසේම ඊට එරෙහිව ප‍්‍රගතිශීලී සහ දේශහිතෛෂී මහජන නියෝජිතයන් ලෙස එකාවන්ව පෙළගැසිය යුතු බවටද මෙම සම්මේලනයට යෝජනා කරමු.

යෝජනාඅංක 03

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයේ මන්ත‍්‍රීවරු 127 දෙනෙකුගෙන් සමන්විත තනි බහුතරයක් දිනා ගැනීම සියළුම පලාත් සභාවල සහ පලාත් පාලන ආයතන අතිමහත් බහුතරයක බලය පක්ෂය විසින් අත්පත් කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් එදා මෙදාතුර අත්පත් කරගත් වැඩිම සාර්ථකත්වය අත්පත් කරගත්තේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංසදයේ බහුතරයක් දෙනා ද අයත් ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය විසින් බව අපි ඉමහත් ආඩම්බරයෙන් යුක්තව සඳහන් කරන්නෙමු . එම පක්ෂය අද පලාත් පාලන මැතිවරණයක් පවා පැවැත්වීමට බිය වී සිටින බේදබින්නවූ පරාජිත පක්ෂයක් බවට පත්වීමේ ජාතික අපරාධයට වගකිවයුතු 2014 නොවැම්බර් 21වැනි දින පක්ෂය කඩාගෙන ගිය සියලූ දෙනා  බවත් එහි වගකීම අප මත පැටවීමේ පහත් උත්සාහයක යෙදෙමින් පක්ෂයට ලැදි අපගෙන් සහාසික ලෙස පළිගැනීමෙන් සහ පාක්ෂිකයා නොසලකා ක‍්‍රියා කිරීමෙන් පක්ෂය විනාශකිරීමේ කාර්යයේ යෙදෙන එකී සියලූ දෙනාටම අපගේ බලවත් විරෝධය මෙයින් පළකර සිටිමු.

යෝජනාඅංක 04

2015 මහ මැතිවරණයේදී  මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ කීර්ති නාමයට සහ ජනප‍්‍රසාදයට මුවා වී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී පසුව එම ජනතාව අතරමං කරදමා තමන්ගේ පොදු සතුරා විය යුතු එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු හිරිකිතයකින් තොරව එක් වී සිටින සියලූ දෙනාට එකී පොදු ජනතාව වෙනුවෙන් අපගේ බලවත් අප‍්‍රසාදය සහ විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.

තවදද සතින්නැගෙන ආණ්ඩු වීරෝධී ජනතා හඬට කන්දී මෙම ආණ්ඩුවේ තමන් දරන සියලූ මැති ඇමතිකම්, වරදාන හා වරප‍්‍රසාද අත්හරින ලෙස අපි බල කර සිටිමු.

යෝජනාඅංක 05

අපේ ජනාධිපති මහින්ද රාජක්ෂ මැතිඳුණි

2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී ජනතාව මුළා කොට බලයට පත් වී ඔවුන් අතරමං කොට දකුණු ආසියාවේ දිදුලන රාජ්‍යයක් ලෙස සංවර්ධනය වෙමින් පැවති රට විනාශය කරාගෙන යමින් ජනතාවට ජීවත්වීම පවා නොහැකි සමාජයක් නිර්මාණය කර ඇති නායකත්වයන් ප‍්‍රතික්ෂේප කරමින් ගම් දනව් සිසාරා නැගෙන ජනතා හඬට පාට, පක්ෂ අමතක කර මොහොතක් සවන්දෙන මෙන් මේ මොහොත් අපි ඔබෙන් එකහඬින් ඉල්ලා සිටින්නෙමු. මෙම ජනතා විරෝධී රජයට සහ ඔවුන් සමඟ ප‍්‍රගතිශීළී මුහුණුවරින් පෙනීසිටින ප‍්‍රතිගාමී බලවේගයන් පරාජයට පත්කිරීමේ ඒකායන අරමුණ පෙරදැරිව ගොඩනැගෙන ජනතා බලවේගයට නායකත්වය දිය හැකි එකම නායකයාණන් ඔබය. එම නායකත්වය නොබියව නොසැළී බාර ගන්නා ලෙස ගමේ බලවේගය වන අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. ඔබ ගන්නා එම තීරණය සමඟ ගම් දනව් සිසාරා විහිදුණු සංවිධාන ජාල ගොඩනඟමින් අපි ඔබ සමඟ එක්වීමට සෑදී පැහැදී සිටින බවත් ප‍්‍රකාශ කරන්නෙමු. කවර බාධා හමුවේවුවද නොසැළී අප අමතක නොකොට අප වෙනුවෙන් පෙනී සිටින, ඔබ සමඟ අපි අත්වැල්බැඳ ගන්නා බව මෙම සම්මේලනයේදී සපථ කර සිටින්නෙමු.

 

Rate this item
(0 votes)