May 22, 2024

'ප්‍රකාශයක්‌ කර පක්‍ෂයෙන් වෙන්වන්න' - ඒකාබද්ධ විපක්‌ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රතු එළියක්

February 10, 2016

ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඊයේ (09) හැසිරුණු ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එය ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ ලෙස තමන් හෙළාදකින බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය හමුවක්‌ කැඳවමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවසී ය.

පාර්ලිමේන්තුව යනු ලිප්ටන් වටරවුමවත්, කොටුව දුම්රියපොළවත් නොවන බවත් එය වීථි සටන් කරන තැනක්‌ බවට පත්කර ගැනීමට ඇතැමුන් දරන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

එක කකුලක්‌ සන්ධානයේත්, තව කකුලක්‌ විපක්‍ෂයේත් තියාගෙන ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රදර්ශනය කරන මේ දෙබිඩි පිළිවෙත පාර්ලිමේන්තුවට ගැළපෙන්නක්‌ නොවන බවත් නියෝජ්‍ය කථානායකවරයා කීය.

පාර්ලිමේන්තුවේදී වෙනම ඉන්නත්, ඉන් පිටතදී ශ්‍රීලනිපයේ බවට පෙනී සිටිමින් එහි විධායක සභාවේ සිටීමටත්, සංවිධායක ධුර දැරීමටත්, සංවර්ධන කමිටු සභාපතිකම් දැරීමටත් කිසිදු මන්ත්‍රීවරයකුට අයිතියක්‌ නැති බව නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය. 

ස්‌වාධීනව එක මන්ත්‍රීවරයෙක්‌ නැඟී සිට ප්‍රකාශයක්‌ කර පක්‍ෂයෙන් වෙන්වීම වෙනම කරුණක්‌ බවත්, එවැනි කිසිදු ප්‍රකාශයක්‌ නොකර කිසියම් කණ්‌ඩායමක්‌ තමන් ස්‌වාධීන යැයි පිළිගන්න යැයි කරන ඉල්ලීම පිළිගත නොහැකි බවත් නියෝජ්‍ය කථානායකවරයා කීය.

පක්‍ෂය තුළ තමන්ට ප්‍රශ්නයක්‌ ඇත්නම් එය පක්‍ෂය තුළ විසඳාගත යුතු බවත් පාර්ලිමේන්තුව යනු පක්‍ෂ ඇතුළේ ඇති ප්‍රශ්න විසඳන තැනක්‌ නොවන බව ඔවුන් අවබෝධ කරගත යුතු බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් 21 දෙනෙකු ලිපියක් මගින් කථානායකවරයාට දැනුම්දුන්නද මෙතෙක් ඒ පිළිබඳ තීරණයක් ලබාදී නැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ කථාකිරීමට අයිතිය සියල්ලන්ටම ලබාදිය යුතු බවත් නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ලෙස දෙකක් පැවතිය නොහැකි බවත්ය. 

මේ පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගෙන එය කථානායකවරයාට දන්වන ලෙසද අගමැතිවරයා දැන්වීය.

මේ අතර පක්ෂයක කණ්ඩායම් තිබිය හැකි වුවද කණ්ඩායම්වල පක්ෂ තිබිය නොහැකි බවත්, ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පිළිගනිමින් සන්ධානය කැඩීමේ පාපයට තමන්ට සම්බන්ධ විය නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 01:15