May 09, 2024

නව ව්‍යවස්ථාවට මහින්දගේ සහය අවශ්‍යයි - සම්බන්ධන්

නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහය අත්‍යවශ්‍ය බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා රජය පසුගිය සෙනසුරාදා ඉදිරිපත් කල යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට එක් වෙමිනුයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා එම අදහස් පළ කලේ.

"මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික නායකයෙක්, ඒ නිසා මේ ජාතික කර්තව්‍යයට එතුමාගේ සහයත් අත්‍යවශ්‍යයි, මම හිතනවා රට ගැන සිතා එතුමා මෙයට සහය දෙයි කියා" යැයි ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ජාතික ප්‍රශ්නය සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන ඒමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අවස්ථා කිහිපයක දී උත්සාහ කල බව පවසන විපක්‍ෂ නායක ආර්. සම්භන්ධන් මහතා, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන, සියළු ශ්‍රී ලාංකිකයන්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සහය දීමෙන් හිටපු ජනාධිපතිවරයාට නව දේශපාලන අනාගතයක් ගොඩනගා ගත හැකි බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

එමෙන්ම වෙනත් රටක් පිලිබඳ ඉල්ලීමක් දෙමළ ජනතාව තුලින් මතු නොවන බව ප්‍රකාශ කළ විපක්‍ෂ නායකවරයා ජාතික ප්‍රශ්නයට එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුලින් විසඳුමක් බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 11:14