May 04, 2024

කැබිනට් මණ්ඩලය පමණක් අද දිවුරුම් දෙයි - හිටපු ඇතැම් ඇමතිවරුන් එම ඇමති ධූරම දෙයි

September 04, 2015

එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවූ ජාතික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරුන් අද (04) දහවල් 12.00ට දිවුරුම් දීමට නියමිත බව අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

ඒ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය අද දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ දී කැබිනට් මණ්ඩලය පමණක් දිවුරුම්දීමට නියමිතය.

නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ රාජ්‍ය අමාත්‍යවරුන් අද දිනයේ දිවුරුම් දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ බෙදාගැනීමේ අර්බුදය ඊයේ (03) මධ්‍යම රාත්‍රිය තෙක් නිමා වී නොතිබූ බවයි.

නව රජයේ ජනමාධ්‍ය, විදුලිබල බලශක්ති ඇතුළු විෂය පථ කීපයක් සඳහා අමාත්‍ය ධුර පත්කිරීමේදී කඹ ඇදිල්ලක් පැවැති අතර, ජනමාධ්‍ය අමාත්‍යාංශය බෙදාගැනීම ඒ අතර මූලික අර්බුදයක්ව පැවති බව වාර්තා වේ.

දින 100 කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වෙත ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍යාංශම ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර තිබේ. 

ඒ අනුව වරාය සංවර්ධන අමාත්‍යාංශය අර්ජුන රණතුංග, අධ්‍යාපන අමාත්‍යාංශය අකිල විරාජ් කාරියවසම්, මුදල් අමාත්‍යාංශය රවි කරුණානායක, සෞඛ්‍ය අමාත්‍යාංශය රාජිත සේනාරත්න, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් අතරේ බෙදීයාමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය අහෝසි කර අදාළ ආයතන ඇතුළත් 'මෙගා පොලිස්' නම් නව අමාත්‍යාංශය සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වෙත රාජ්‍ය පරිපාලන හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයද, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත මහාමාර්ග අමාත්‍යාංශයද, ආයෝජන සංවර්ධන අමාත්‍යාංශය කබීර් හෂීම් මහතාටද යෝජනා වී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය නිමල් සිරිපාල මහතා වෙත යෝජනා වී ඇති අතර, විදුලිබල හා බලශක්ති විෂයයද, කෘෂිකර්ම හා වාරිමාර්ග විෂයයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පත්වීමට නියමිතව තිබේ.

ආරක්ෂක, මහවැලි හා පරිසර යන විෂය පථ තුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය අගමැතිවරයා යටතේ පවතිනු ඇතැයි සඳහන් වේ.

කැබිනට් අමාත්‍ය ධුරවලට අමතරව, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහා නවක මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ඇතුළත්ව සිටින බවටද වාර්තා වේ.

කෙසේවෙතත් පිහිටුවා ඇති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 48 ක් වියයුතු බවත්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතු බවත් පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (03) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 127කින් සම්මත විය. 

 

Rate this item
(0 votes)