May 20, 2024

ඔසාමා බින් ලාඩන් ඝාතනය සමඟ ප්‍රසිද්ධ වූ ඡායාරූපයේ සැබෑ කතාව

2011 මැයි මාසයේ 02 වැනිදා ඇමෙරිකානු වෙලාවෙන් සවස 04.05ට පමණ  ධවල මන්දිරයේ “අවස්ථා කාමරය (Situation Room)” තුළ එරට රාජ්‍ය නිලධාරී මට්ටමේ ඉහළම පිරිසක් රැස්ව සිටියා.

පාකිස්ථානයේ ඇබොටාබාද් හී ඇමෙරිකානු ආරක්ෂක අංශය සතුව ඇති විශේෂ හමුදා ඒකකයක් වන සීල්ස් (SEALs) භටයන් කරන මෙහෙයුමක් එම රැස්ව සිටි පිරිස කුතුහලයෙන් පුළුල් තිරයක් ඔස්සේ නරඹමින් සිටියා.

ඔවුන් මෙලෙස නරඹමින් සිටියේ ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරයට මෙන්ම ලෝකයේ තවත් බොහෝ ත්‍රස්ත ප්‍රහාරයන්වලට සම්බන්ධව අවශ්‍යව සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ මෙහෙයුමයි.

මෙම අවස්ථාව එම අවස්ථාවේ කාමරය තුළ සිටි මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණු අතර ලෝකයේ වඩාත් කතාබහකට ලක් වූ මෙන්ම ඉතිහාසගත ඡායාරූපයක් ලෙසද මෙය ප්‍රසිද්ධියට පත් වුණා.

“අවස්ථා කාමරය (Situation Room)” තුළ සිටියේ කවුද?

මෙය ඇමෙරිකානු රාජ්‍ය මට්ටමේ ක්‍රියාකාරකම් වූ බැවින් එම අවස්ථාව සඳහා එරට ඉහළම රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ඒ අතර සිටි පුද්ගලයින් වනුයේ,

1.බැරැක් ඔබාමා - ඇමෙරිකානු ජනපති

2.ජෝ බයිඩන් - ඇමෙරිකානු උප ජනපති (වත්මන් ජනපති)

3.බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්ෂල් බ්‍රැඩ් වෙබ් 

4.අද්මිරාල් මයික් මුලන් - ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති

5.ජාතික ආරක්ෂක උපදේශක ටොම් ඩොනිලන්

6.බිල් ඩේලි - මාණ්ඩලික ප්‍රධානී

7.ඇන්ටනි බ්ලින්කන් (ජෝ බිඩෙන්ගේ ජාතික ආරක්ෂක උපදේශක - වත්මන් රාජ්‍ය ලේකම්)

8.ඩෙනිස් මැක්ඩොනොග් - නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක

9.හිලරි ක්ලින්ටන් - රාජ්‍ය ලේකම්

10.ආචාර්ය රොබට් ගේට්ස් - ආරක්ෂක ලේකම්

11.ත්‍රස්ත මර්දන අධ්‍යක්ෂ ඕඩ්රි ටොමසන්

12.ජෝන් ඕ. බ්‍රෙනන් - ස්වදේශීය ආරක්ෂාව සහ ත්‍රස්තවාදය පිළිබඳ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක

13.ජේම්ස් ආර්. ක්ලැපර් - ජාතික බුද්ධි අධ්‍යක්ෂ

යන රාජ්‍ය නිලධාරීන්ය.

ජනපති ඔබාමා වෙන පුටුවක වාඩි වී සිටියේ ඇයි?

අවස්ථා කාමරයේ මේසයේ මධ්‍ය පුටුව සෑම අවස්ථාවකම වෙන් කර තබා තිබෙන්නේ රාජ්‍ය නායකයා වෙනුවෙනි. නමුත් මෙම මෙහෙයුම පටන් ගන්නා අවස්ථාවේ එකළ ජනපති බැරැක් ඔබාමා  එම ස්ථානයේ සිට තිබුණේ නැහැ. 

එබැවින් එම මධ්‍ය පුටුවේ වාඩි වී මෙහෙයුම පිළිබඳව විස්තර කරමින් සිටියේ ගුවන් හමුදා ජෙනරාල්වරයකු වන “බ්‍රැඩ්” වෙබ් විසිනි.  ජනාධිපතිවරයා පසුව එම ස්ථානයට පැමිණිය අතර එහිදී ජෙනරාල්වරයා විසින් නැගිට ජනාධිපතිවරයාට නියමිත අසුන ලබාදීමට උත්සාහ කළ අතර එහිදී එය ප්‍රතික්ෂේප කර ජෙනරාල්වරයාටම එහි අසුන් ගන්නැයි පවසමින් ජනපතිවරයා අසළ තිබූ පුටුවක අසුනගෙන තිබුණා.

බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්ෂල් බ්‍රැඩ් වෙබ් විසින් එම අවස්ථාව විස්තර කරමින් සඳහන් කර සිටියේ රටේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් එතනට රැස්ව මෙහෙයුම දෙස බලා සිටින අවස්ථාවේ තමන් තරමක් කලබලයෙන් සිටි බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන අවස්ථාව නැරඹීමට හැකිව තිබුණේ නොමැති බව පසුව ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.

එකළ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සිදුවීම ගැන කියපු කතාව

මෙම අවස්ථාවේ දී වඩාත් කුතුහලයට පත්ව සිටි තැනැත්තා වුයේ එකළ රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන් ය. ඇය එහිදී සඳහන් කර සිටියේ සීල්ස් භටයන් ඔසාමාගේ නිවසට ඇතුළු වූ අවස්ථාවෙන් පසුව සිදුවුණු දේ පිළිබඳව දර්ශන හෝ හඬක් නොලැබුණු බවයි. ඔවුන් සියලු දෙනා ඊළඟ අවස්ථාවේ කුමක් වේවිදැයි යන කුතුහලයෙන් බලා සිටි බවද ඇය සඳහන් කර සිටියා.

Situation Room (අවස්ථා කාමරය) නැතහොත් ජෝන් එෆ්. කෙනඩිගේ සාකච්ඡා කාමරය කියන්නේ මොකක්ද?

මෙය ඇමෙරිකානු රාජ්‍ය තුළ ඉතාමත් සංවේදී කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළම රාජ්‍ය නිලධාරීන් එකතු වන ස්ථානය බවට පවසන්නට පුළුවන්. මෙම කාමරය වර්ග අඩි  5,525 ක් නැතහොත් වර්ග මීටර් 513.3 m2 කාමරයක් වෙනවා.

මෙම කාමරය නිරමාණය කර තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 35 වෙනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්.කෙනඩිගේ පාලන සමය (1961) තුළයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 June 2021 22:17