April 28, 2024

"කෝ මේ රට හදන්න ආ තරුණ වෘත්තිකයන්?"

යුතුකම ජාතික සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ලියයි...

"කෝ මේ රට හදන්න ආ තරුණ වෘත්තිකයන්?" ළඟ දී ම අහන්න වේ වි

මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ වෙනුවට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත් කිරීම පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ. පසු ව පොහොර හා බැඳුන වගකීමකට ලසන්ත පත් කිරීම තුල (ඔහු තවම ඒ තනතුර භාරගෙන නැත) මේ තම වගකීම සාර්ථක ව ඉටු කළ ඔහුට නව වගකීමක් භාරදීමක් ලෙස ද අදහස් පළ වේ. එහෙම නම් වගකීම පැවරූ රාජ්‍ය නායකයත්වය අඩු ම තරමින් ඒ බව දැනුම්දිය යුතු යි නේ ද?

වෘත්තීයවේදීන්ට රාජ්‍ය ආයතන ගොඩදාන්න පෙරට එන්න කිවුවා ම, ගණිත විශේෂ උපාධිය සහ මෘදුකාංග පිළිබඳ හා සැපයුම්ජාල පිළිබඳ M.Sc. උපාධි දෙකක් සමඟ ලසන්ත ඉල්ලුම් කළේ තරුණ සේවා සභාවට; ජනාධිපතිතුමා තමයි ලසන්තට කතාකර මිලකෝ ඇතුළු ආයතන හතරක් පහක් ගැන කියා, වැටිලා තියෙන ඒ ආයතනයක් බාර අරගෙන ගොඩදාල දෙන්න කිවුවේ.

මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙනාවාට, ලංකාව කිරිවලින් ස්වයං පෝෂිත තත්ත්වයට ගෙන ඒම දීර්ඝකාලීන වැඩක්. ඒ සඳහා එළදෙනුන් ක්‍රමානුකූලව කෘතිම සින්චනය කිරීම (මේ ක්‍රියාදාමය කොරෝනා කාලේ අමාත්‍යාංශයෙන් නිසි පරිදි සිදු නොවීම නිසා පසුගිය කාලයේ ලංකාවේ කිරි නිෂ්පාදනය පහළ වැටුණා), ගවයන්ට අවශ්‍ය ජලය හා පෝෂ්‍යදායී තෘණ ලබාදීම, කිරි ගොවීන් ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ... ආදී වශයෙන් කරුණු රැසක් ඉෂ්ටසිද්ධ කරන්න ලසන්ත මැදිහත් ව කටයුතු කරමින් තිබුණා. පහසු නෑ, කෘෂිකර්මාන්තය පළාත් සභා විෂයක්. අමාත්‍යවරුන්ට ඕනෑ පාක්ෂිකයන්ට රැකියා, ව්‍යාපාරික හිතවතුන්ට ඩීල්. වෘත්තීය සමිතිවලට කප්පම්.

කිරි ගොවීන්ට නියමීත දිනට ගෙවීම් කිරීම, ලිටරයක ගෙවන මුදල වැඩි කිරීම (ලීටරයකට දෙමින් තිබූ රු. 60 රු. 90 දක්වා වැඩිකර ඇත) හා කොරෝනා වසංගත අවස්ථාවේ කළ තීරණාත්මක මැදිහත්වීම මත බිඳවැටී තිබූ මිල්කෝ සැපයුම්ජාල ශක්තිමත් කිරීමට ලසන්ත සමත් වුණා. කොරෝනා නිසා රට වැසූ මුල් දිනයේ දීත් මිල්කෝ කිරි එකතු කළා, ලසන්ත ම මැදිහත්වී පොලිසිවලට කරුණු පැහැදිලි කර අත්අඩංගුවට ගත් කිරි එකතු කිරීමේ වාහන නිදහස් කරගත්තා; ජනාධිපති කාර්යසාධක බලකාය ගොවීන්ට, ධීවරයන්ට හදිසි නීතිය නොතකා කටයුතු කරන්නැ යි නිවේදනය කරන කොට, ඒ අනුව තරගකාරී ආයතන කිරි එකතු කිරීම අරඹන කොට ලසන්ත මිල්කෝ ආයතනය විතරක් නෙවේ, ගම්වල කිරි ගොවීන් ගේ ජීවිතත් ගොඩදාලා තිබුණා. එළදෙනුන්ට සුදුසු තණ කොළ, කිරි වගේ ම සහතික මිලකට මිල දී ගැනීමේ ප්‍රතිඥාව මත රට පුරා නිසරු බිම්වල වගේ ම රබර්වතු ආදියෙහි යටිවගාවක් ලෙස ද වගා කරවන ව්‍යාපෘතියක් මේ වසරේ ක්‍රියාවට නැඟීමට සැලසුම් හදලා තිබුණා. මේ ක්‍රියාවලියත් ගමේ ආර්ථිකය ඔසවා තබන්නක්.

දැන් නෙලුම් මාවතේ අපුල්ලන්නා ලියලා තිබුණා ලසන්ත පිටිකිරි, දියර කිරිවලට වඩා යෝගට්වලට, අයිස්ක්‍රීම්වලට තැන දුන්නා කියා. චෝදනාව බොරු; දියර කිරි ප්‍රචලිත කිරීමට රූපවාහිනී නාලිකා ගානේ ගිහින් ලසන්ත ම කරදුන්නා. හැබැයි ආයතනය ලාබ ලබන්න, සේවකයන්ව සතුටු කරන්න, කිරි ගොවින් ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආදායම් හොයන්න ඕනේ. බහුජාතික සමාගම්වලට අභියෝගයක් වෙමින් ලසන්ත කළේ ඒ කාර්යභාරය.

අලුත් සභාපති වැඩ භාරගත් අවස්ථාවේ පොහොට්ටු වෘත්තීය සමිති (නා)යකයන් වසාදැමන තැනට තල්ලු වෙමින් තිබූ ආයතනය ගොඩදැමීම ගැන ස්තුති කරනවා වෙනුවට, ලසන්තට විවිධ චෝදනා නඟා තිබුණා (ඒ සමිති නායකයන් ආයතනයෙන් සේවකයන්ට සහන මිලට දෙන කිරිපිටි පැකට්වලින් බිස්නස් කිරීම නැවැත්වීමට ලසන්ත මැදිහත් වූ නිසා). රාජ්‍ය ඇමැති වෘත්තීය සමිති නඟන චෝදනා ගැන වහා ම පරීක්ෂණයක් පැවැත්විය යුතු යි කියා තිබුණා. රට ගොඩනඟන විරුවන් ගෙන් සද්දයක් නැත. තවටික දවසකින්, "කෝ මේ රට හදන්න ආපු තරුණ වෘත්තිකයින්?" කියා මහින්ද මහත්තයාට අහන්න සිදු නොවේවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 January 2022 07:50