May 03, 2024

ඉතිහාසයේ ඉහළම ආනයන වියදම වාර්තා කරයි

February 14, 2022

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී සටහන් වී තිබෙනවා.

2020 වසරේ දෙසැම්බර් මාසදේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,527 හා සැසඳීමේ දී, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී, මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ආනයන වියදම වාර්තා කරමින් වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 2,241ක් දක්වා සියයට 46.8කින් සැලකිය යුුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන වියදම්වල කැපී පෙනනෙ වැඩිවීමක් දක්නට ලැබුණු අතර, අන්තර් භාණ්ඩ ආනයන ඒ සඳහා වැඩි වශයෙන් හේතු වූ බව වාර්තා වනවා.

2021 වසරේ සමස්ත ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 20,637ක් වූ අතර, එය 2020 වසර තුළ වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 16,055ක වියදමට සාපේක්ෂව සියයට 28.5ක වර්ධනයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 562ට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී, මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අගය වන එක්සත් ජනපද ඩොලර් මිලියන 1,085ක් දක්වා පුළුල් වී ඇති බවයි.

ඒ අනුව 2021 වසරේ වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය ද, 2020 වසර තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,008ක හිඟයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 8,136ක් දක්වා පුළුල් වී තිබෙනවා.

2021 වසර තුළ වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීම සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයනය සඳහා දරා ඇති ඩොලර් මිලියන 1,200.3 ක වියදම හේතු වී තිබෙනවා.

මීට අමතරව රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන සඳහා ඩොලර් මිලියන 731.9 ක් සහ යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයන සඳහා ඩොලර් මිලියන 633.4 ක වියදමක් දැරීමට සිදුවීම ද 2021 වසරේ වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් දායක වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

2021 වසරේ දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරනවා.

අඛණ්ඩව හත්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපැයීම් තිබියදීත්, ඉතිහාසයේ ඉහළම මාසික වියදම වාර්තා කරමින් ආනයන අධික ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය, වසරකට පෙර පැවති හිඟයට සාපේක්ෂව පුළුල් විය. අපනයන වර්ධනයට වඩා සැලකිය යුතු වේගයකින් ආනයන ඉහළ යෑම හේතුවෙන් 2021 වසර තුළ දී වෙළඳ හිඟය කැපී පෙනෙන ලෙස පුළුල් විය. පෙර මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම් කැපී පෙනෙන වර්ධනයක් සමඟින් අඛණ්ඩව ඉහළ ගියේය. මේ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයට ප්‍රතිචාර දැක්වීම සහ උත්සව සමයේ ඉහළ යන ප්‍රේෂණ ප්‍රවණතාව පිළිබිඹු කරමින්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මාසික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළේය. මාසය තුළ අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක පමණ මට්ටමක පැවතුණි.

Rate this item
(0 votes)