May 02, 2024

රාජ්‍ය සංස්ථා කිහිපයක වෙනසක්! ආසියානු සංවර්ධන බැංකුවේ ලොක්කාගේ තීරණය ජනපතිට කියයි

මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් (Shixin Chen) මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව දන්වා තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කර තිබෙනවා. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළා.

ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මීට සමගාමීව ව්‍යාපාරික සමුළු ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000ක පමණ පිරිසක් ඊට සහභාගී වෙතැයි අපේක්ෂා කෙරෙනවා. සමුළුව “පශ්චාත් කොවිඩ් - 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්” යන තේමාව ඔස්සේ පැවැත්වෙනවා.  

ශ්‍රී ලංකාව කොවිඩ් - 19 එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීම, රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයෙහි සංවිධානාත්මක බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයාගේ ඇගයීමට ලක් කර තිබෙනවා.

එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් රජයේත් ජනතාවගේත් කෘතවේදීත්වය හිමි වන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 11:06

Related items