පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම සියයට 60ක්‍ පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්.උපසේන මහතා පවසනවා.

පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගා කරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු ලැබීම අඩුවී ඇතැයි ද ඔවුහු පවසනවා

මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව, කඩුවෙළ සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබෙන බව ද මේ දිනවල එම සෑම ප්‍රදේශයකින්ම ලැබෙන එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ද උපසේන මහතා සඳහන් කරනවා.

එළවළු මිලද අහස උසට ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

බෝංචි කිලෝව රුපියල් 550 - 600 අතර මිලකටත්, කැරට් කිලෝව 350 - 400 අතර මිලකටත් , ලීක්ස් කිලෝව රුපියල් 350 කටත් තක්කාල කිලෝව රුපියල් 500 - 600 අතර මිලකටත් රාඹු කිලෝව රුපියල් 200 - 250 ත් අතර මිලකටත් අලෙවි වූ බව ද උපසේන මහතා පවසනවා.

උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක මිල තවදුරටත් ඉහළ යෑම හමුවේ තම ව්‍යාපාර කටයුතු පාඩු ලබන තත්ත්වයකට පත්වී ඇති බව හැටන් ප‍්‍රදේශයේ එළවළු සහ සිල්ලර වෙළෙඳුන් පවසනවා.

උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම කිලෝවක සිල්ලර මිල  රු. 400 ට වඩා ඉහළ ගොස් ඇති බවත්, තම වෙළෙඳසැල්වලට ලැබෙන එළවළු පිරිපුන් බවින් අඩුව පවතින නිසා, වෙළෙඳපොළේ පවතින මිලට එම එළවළු අලෙවි කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට වෙළෙඳුන් කියා සිටිනවා.

එළවළු මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයන් වෙනදා මෙන් දින කිහිපයකට සරිලන සේ එළවළු මිල දී නොගන්නා බවත්, එදිනෙදා අවශ්‍යතාව පරිදි ග‍්‍රෑම් 250 ක් වැනි ප‍්‍රමාණයක් මිලදී ගන්නා බව හැටන් ප‍්‍රදේශයේ එළවළු වෙළෙඳුන් පවසනවා.

මඤ්ඤොක්කා, වට්ටක්කා, කෙසෙල්මුව වැනි එළවළු පමණක් රු. 200 ට අඩුවෙන් අලෙවි වන බවත්, ව්‍යාංජන සඳහා භාවිතා කරන අඹ කිලෝවක් රු. 160 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙඳුන් පැවසුවා.

තම වෙළෙඳසැල්වලට එළවළු තොග වශයෙන් ලබා දෙන හැටන් සහ පිට පළාත්වලින් වෙළෙඳුන් ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම හමුවේ මෙසේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවත්, පවතින රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම එළවළු මිල ඉහළ යෑමට ප‍්‍රධාන හේතුව බව වෙළෙඳුන් කියා සිටිනවා.

මේ අතර එලවළු තොග නොලැබිම සහ නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා ඊයේ (21) දින තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (22) දින විවෘත කල බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඊයේ ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබු නිසා අද නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබි ඇති සිමිති එලවළු ප්‍රමාණය තොග මිල 20% පමණ ඉහල ගොස් ඇති බවයි.

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් සිදු කල උද්ඝෝෂණයට රජය කඩිනමින් ප්‍රතිචාර නො දැක්වුවහොත් ගොවින් විසින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග අනුව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට සිදු වන බවයි සභාපතිවරයා කියා සිටියේ.

ශාක පෝෂණ පොහොර ආනයනය කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (21) මාධ්‍යට කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ ගොවින් දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත්, දේශපාලඥයන්ට වඩා අමාත්‍යංශයක ලේකම්වරයෙක් කරන ප්‍රකාශයක් විශ්වාසවන්ත බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවා.