May 17, 2024

නයින්වෙල්ස් රෝහල අණුක ජාන පර්යේෂණාගාරයක් විවෘත කරයි

September 28, 2021

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛතම කාන්තා හා ළමා  රෝහල වන නයින්වෙල්ස් රෝහල තවත් පියවරක් ඉදිරියට තබමින් සායනික අණුක රෝග විනිශ්චය සඳහා  නවීන තාක්‍ෂණික ජාන පර්යේෂණ අංශයේ පුරෝගාමී ආයතනයක් වන Genelabs Medical ආයතනය සමඟ එක්ව, පසුගිය දා නව අණුක ජාන පර්යේෂණාගාරයක් නයින්වෙල්ස් රෝහල තුල ස්ථාපිත කෙරුණි. 

එමගින් මෙරට වෛද්‍ය විද්‍යාව නව මානයකට යොමු කෙරෙනු ඇති අතර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා මෙරට ජනතාව වෙත  නව වෛද්‍ය පර්යේෂණ සේවාවන් රාශියක් ලබාදීම විශේෂත්වයකි.

නයින්වෙල්ස් රෝහල, Genelabs Medical ආයතනයත් සමග ඇතිකරගත්   සහයෝගීතාවත් සමග ආරම්භ කෙරුණු මෙම අණුක ජාන පර්යේෂණාගාරය මඟින් වැඩිහිටි හා ළමා රෝගීන් පරීක්‍ෂා කිරීම සහ රෝග විනිශ්චය කිරීම සඳහා විශේෂිත වූ නව වෛද්‍ය පර්යේෂණ සේවාවන් රැසක් ලබා දෙන අතර, එම විද්‍යාගාරයට සමගාමීව නව ජාන විද්‍යා අංශයක් ද ආරම්භ කෙරිණි.

මෙම නව අංශය මගින් ලබාදෙන සේවාවන් අතරින් ගර්භණී සමයේ දී ඇතිවන ජානමය රෝග හා ළදරු උපත් ආබාධ පරීක්‍ෂා කිරීම මෙන් ම ප්‍රජනන සංකූලතා, පිළිකා වැනි  රෝගී තත්වයන් සඳහා වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ගේ ජාන පර්යේෂණ සිදුකිරීම ආදිය විශේෂිතය.  මෙම සේවාවන් ලබාදීම සඳහා  දිවයිනේ සිටින ජාන වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සහ ජාන උපදේශක වෘත්තිකයින් කණ්ඩායමක් නයින්වෙල්ස් රෝහල සතු ය.

මෙරට සෞඛ්‍ය සේවා අංශයේ මෙම  සුවිශේෂී  සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්  නයින්වෙල්ස් රෝහලේ සාමාන්‍යාධිකාරී තරංග වීරසූරිය මහතා මෙසේ පැවසීය. " Genelabs Medical ආයතනය සමඟ එක්ව ආරම්භ කෙරෙන නයින්වෙල්ස් අණුක ජාන පර්යේෂණාගාරය අද නිල වශයෙන් විවෘත කෙරෙනවා. මෙය මාස ගණනාවක් තිස්සේ අප සිදුකළ සැලසුම්වල සහ අපගේ දැඩි කැපවීමේ ප්‍රථිඵලයක්. අපගේ මෙම  ඒකාබද්ධ උත්සාහය මේ අයුරින් සාර්ථක වීම ගැන අපි සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. නයින්වෙල්ස් රෝහල සහ Genelabs Medical යන ආයතන දෙක එක් වී ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය  ඉදිරියේ දී අති සාර්ථක වනු ඇති බව මම විශ්වාස කරනවා."

මෙම නව සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Genelabs Medical ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණී සහ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය චන්දනමාලි පුංචිහේවා මහත්මිය මෙසේ පැවසුවාය. " Genelabs Medical ආයතනය නවීනතම ජාන පර්යේෂණ සේවාවන් ශ්‍රී ලංකාවේ  ජනතාවට පහසුවෙන් ලබාගත හැකි ආකාරයෙන්  ලබා දෙන ආයතනයක්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට  අනුකූලව, නවීන තාක්ෂණය භාවිතා කරමින් ශ්‍රී ලාංකික ජනතාවට සේවා ලබාදෙන අප ආයතනය මේ රටේ   වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට ඉතා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා කිව්වොත් මම නිවැරදියි. නයින්වෙල්ස් රෝහල වැනි ප්‍රමුඛ පෙළේ රෝහලක් සමග සමඟ අත් වැල් බැඳගැනීමට ලැබීම අතිශයින්ම සතුටට කරුණක්. අපගේ මෙම සහයෝගීතාව මගින්  ජාන වෛද්‍ය විද්‍යා අංශයෙන් ගුණාත්මක සේවාවන් රැසක් මේ රටේ ජනතාව වෙත ලබාදීම සඳහා  අපි කැප වෙනවා."  

නව අණුක ජාන පර්යේෂණාගාරය 2021 සැප්තැම්බර් මාසයේ දී නයින්වෙල්ස් රෝහල් පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට Genelabs Medical ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණී සහ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය චන්දනමාලි පුංචිහේවා, Genelabs Medical ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ  මනෝජ් පුංචිහේවා,  නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, නයින්වෙල්ස් රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය තියාෂා ප්‍රනාන්දු, නයින්වෙල්ස් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න, නයින්වෙල්ස් රෝහලේ ජේෂ්ඨ පරිපාලන අධ්‍යක්ෂ  සහ කාර්යය සම්පාදක ජෙනරාල් සිරි රණවීර   යන මහත්ම මහත්මීහු ඇතුළු එම ආයතන දෙකේ ඉහළ කළමනාකාරීත්වය සහ තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශය තුළ  ප්‍රමුඛතම  කාන්තා හා ළමා  රෝහල වශයෙන් නයින්වෙල්ස් රෝහල ප්‍රසව, නාරිවේද, ළමා රෝග සහ දරු උපත් යන ක්ෂේත්‍රයන් ආශ්‍රිතව සේවාවන් රැසක් සපයයි. සමාගම් සමූහයක් වශයෙන් නයින්වෙල්ස් තම සියලුම පාරිභෝගිකයින්ට  'ජීවිත කාලය පුරා රැකවරණය' ලබාදීම සඳහා කැපවන  අංගසම්පූර්ණ රෝහලක් ලෙස හඳුන්වාදිය හැකිය.  මෑත කාලීනව  ආරම්භ කළ රූපලාවන්‍ය හා විලවුන් මධ්‍යස්ථානය, සුඛෝපභෝගී  මාතෘ  මැදිරි සහ වාට්ටු සංකීර්ණය මෙන් ම  අති නවීන අණුක ජාන පර්යේෂණාගාරය මගින් රෝහලේ සමස්ත සේවා පිරිනැමීම තවදුරටත් ශක්තිමත් කෙරුණු අතර, මේ වනවිට නයින්වෙල්ස් රෝහල මෙරට  සෞඛ්‍ය ක්ෂේත්‍රය  තුළ ඉතා සුවිශේෂී  ස්ථානයක් හිමිකරගෙන සිටින බව පැවසිය යුතු ම කරුණකි.

 

 

 

 

Rate this item
(0 votes)