April 27, 2024

ලංකා බැංකුවේ නව මහ කළමනාකරු සුමනසිරි

ලංකා බැංකුවේ 22 වැනි මහා කළමනාකරු ලෙස කේ.ඒ.ඩී.සුමනසිරි මහතා අද සිට සිය ධුරයේ රාජකාරී අරඹයි. ලංකා බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ විවිධ තනතුරු හෙබ වූ ඒ මහතා නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික අයකර ගැනීම්) සහ නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්) යන ධූරයන්හි සුවිශේෂ කාර්යභාරයක් ඉටුකර ඇත.

1990 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා ලංකා බැංකුව හා සම්බන්ධ විය. ඒ මහතා ශ්‍රී ලංකා  බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ හාවඩ් ව්‍යාපාරික පාසලෙන් නායකත්ව පාඨමාලාව හදාරා ඇත. 

ශාඛා ජාල කළමනාකරණය  සහ නායකත්ව කාර්යභාරය තුළින් ඒ මහතා සිල්ලර බැංකුකරණය, ක්ෂුද්‍ර මූල්‍ය, ආයතනික මූල්‍ය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව පුළුල් අත්දැකීම් ලබා ඇත. ඒ මහතා කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සහකාර  සාමාන්‍යාධිකාරී  යන තනතුරු කිහිපයක් ලංකා බැංකු ශාඛා ජාලය තුල දැරීය.

කළමනාකාරු (පුහුණු) තනතුර දරමින් බැංකුවේ පුහුණු ආයතනයේ පීඨ සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටියදී සුමනසිරි මහතා ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලයේ දැනුම නංවාලීමට විශාල කාර්ය භාරයක් ඉටු කල අතර කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනයටද ඒ මහතා දායක විය.

උතුරු පළාතේ  දශක තුනක ගැටුම් කාලය අවසන් වූ විගසම, සුමනසිරි මහතා සහකාර සාමාන්‍යාධිකාරී ලෙස උතුරු පළාත භාරගත් අතර ප්‍රදේශයේ නැවත පදිංචි වූ ජනතාවගේ ජීවන තත්වය  නංවාලීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. එසේම උතුරු පළාතේ ආර්ථිකය නගා සිටුවීමට ඉමහත් දායකත්වයක්ද ඒ මහතා ලබා දී ඇත. ඒ මහතා විසින් උතුරු ප්‍රදේශයේ බෙදා හැරීමේ මාර්ග පුළුල් කිරීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කළේය.

ක්ෂුද්‍ර මුල්‍ය සහ සිල්ලර බැංකුකරණය පිළිබඳව ඒ මහතාගේ පුළුල් අත්දැකීම් හා විශේෂඥතාවය හේතු කරගෙන උතුරු පළාතෙහි ලංකා බැංකුව වඩා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට ඒ මහතාට හැකි විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 10:56