May 22, 2024

ලංකා බැංකුව සිය 82 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ජාතියේ මහා පහන් ටැඹ ලෙසින් විරුදාවලිය ලත් ලංකා බැංකුව තම 82 වන සංවත්සරය ඉතා අභිමානවත් අයුරින් සැමරීය. මෙම කාල වකවානුව තුළ මෙරට ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් ඉටු කළ අසමසම කාර්යභාරය පිළිබඳ සාඩම්බරයෙන් සිහිපත් කරන ලංකා බැංකුව, විදේශීය වෙළෙඳපොළ දක්වා තම සේවාවන් පුළුල් කිරීම මගින් උසස් මූල්‍ය සේවාවන් රැසක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමටද සමත් විය.

මෙම සංවත්සරයට අදාළ නිල සැමරුම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු ඩී.පී.කේ.ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර එහිදී බැංකුවට, එහි කළමනාකාරීත්වයට හා කාර්ය මණ්ඩලයට මෙන්ම සියලුම සියළුම ගණුදෙනු කරුවන් සහ පාර්ශවකරුවන්ට ආශිර්වාද කිරීම සඳහා සර්වාගමික වැඩසටහනක් ද පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සැමරීම වෙනුවෙන් ලංකා බැංකුව වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.

සංවත්සරික සැමරුමට සමගාමීව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද "අපනයන කවය" අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත කරන ලදී. මෙයට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ සුභ පැතුම් පණිවුඩය ප්‍රකාශයට පත් කෙරුණු අතර එම උත්සවයට ලංකා බැංකුවේ කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ගනුදෙනුකරුවන් ද සහභාගි වූහ.

මෙරට අපනයන ක්ෂේත්‍රය හා සම්බන්ධ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය සියලුම මූල්‍යමය පහසුකම් එකම වහලක් යටින් ලබා දෙන "අපනයන කවය" ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ සිට සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 16:32