May 16, 2024

SLT සමූහය අපතේයාම් කළමනාකරණයෙන් ධනාත්මක ප්‍රතිඵල වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලසීමාව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමූහයේ ලාභය 29.9% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 6 ක් ලෙස වාර්තා කර ඇත. ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක මෙම වර්ධනාත්මක වාර්තාකරණයට හේතු වී ඇත. මීට සමගාමීව තම සේවා මට්ටම් ඉහළ නංවමින්, යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් සහ නවෝත්පාදනයන් හඳුන්වා දෙමින්, මෙම දුෂ්කර කාලපරිච්ඡේදය තුළ හැකි උපරිමයෙන් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ සැලසීමටද SLT-MOBITEL කටයුතු කර ඇත.

COVID-19 වසංගතය හමුවේ පවා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට යොමුකළ අවධානය හේතුවෙන්, පෙර වසරට සාපේක්ෂව අදාළ කාලසීමාව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 49.9 දක්වා, එනම් 13.3% කින් වර්ධනය විය. මෙහෙයුම් ඉපයුම් ආන්තිකයද පෙර වසරට සාපේක්ෂව 10% කින් වර්ධනය වී, රු. බිලියන 19.6 ක් ලෙස වාර්තා වී ඇත. මෙහෙයුම් ලාභය 2020 වසරේ මුල් මාස 6 ට සාපේක්ෂව 4.2% කින් වර්ධනය වී, රු. බිලියන 7.2 ක් ලෙස සටහන් වී ඇත.

2021 වසරේ දෙවැනි කාර්තුව සඳහා සමූහයේ ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 15.2% කින් වර්ධනය වී, රු. බිලියන 25.3 ක් බවට වාර්තා වී ඇති අතර, එමගින් මෙහෙයුම් ඉපයුම් ආන්තිකය සහ මෙහෙයුම් ලාභය පිළිවෙළින් රු. බිලියන 9.9 සහ රු. බිලියන 3.8 දක්වා වර්ධනය වී ඇත. සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 3.8 ක් ලෙස වාර්තා වන අතර, එය පෙර වසරට සාපේක්ෂව 40.7% ක වර්ධනයකි.

වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය අතරතුර පාරිභෝගිකයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකරමින් අත්‍යවශ්‍ය නිමැවුම් හා සේවාවන් සැපයීමට පියවර ගැනීම, SLT-MOBITEL හි පිරිවැටුම වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි ය. ක්‍රමයෙන් වැඩි වන ඉල්ලුමට සාපේක්ෂව ගෘහස්ථ ෆයිබර් සම්බන්ධතා ලබාදීමටත්, PEO TV සහ ජංගම දුරකථන සේවා පුළුල් කිරීමටත් SLT-MOBITEL කටයුතු කර ඇත. මීට අමතරව අගය එකතු කළ සේවාවන් සහ තරගකාරී මිල ගණන් මෙන්ම, අසීමිත දත්ත පැකේජ වැනි නිර්මාණශීලී, පාරිභෝගික-කේන්ද්‍රීය සේවාවන් හඳුන්වා දීම නිසා වැඩි පාරිභෝගිකයන් පිරිසක් SLT-MOBITEL සමග එක්වූහ.

ශ්‍රී ලංකා රජයට සිය අඛණ්ඩ දායකත්වය ලබාදෙමින්, SLT-MOBITEL විසින් 2021 වසරේ ප්‍රථම අර්ධය තුළ ලාභාංශ, සෘජු සහ වක්‍ර බදු ලෙස රු. බිලියන 1.3 ක මුදලක් ගෙවන ලදී. එමෙන්ම මුහුදු සංදාම ජාලය, මූලික යටිතල පහසුකම් (backbone infrastructure), දැනට ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ෆයිබර් ඔප්ටික් ජාලය පුළුල් කිරීමේ වැඩසටහන, 4G කුලුනු සහ මූලික සන්නිවේදන මධ්‍යස්ථාන ආදිය සඳහා කරන ලද ආයෝජනයන් ඇතුළුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සම්බන්ධතා වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට උපකාරීවන දීර්ඝකාලීන යටිතල පහසුකම් පද්ධතිය සඳහා ආයෝජනයන් සිදුකිරීමට ද සමූහය කටයුතු කර තිබේ.

තම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට වෛරසය ආසාදනය වීමේ අවදානම කළමනාකරණය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ගත්විට, රටේ අනෙකුත් සමාගම් හා ආයතන වලට SLT-MOBITEL වෙතින් ලබාගත හැකි ආදර්ශ රැසකි. රෝහල්ගත කිරීම් පිරිවැය අවම කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට සමාගම පියවර ගත් අතර, සමීප ආශ්‍රිතයන් සඳහා අතරමැදි මධ්‍යස්ථාන 6 ක් පිහිටුවීමට ද කටයුතු කර ඇත. මෙම සෑම පියවරක්ම විශේෂ කමිටුවක් මගින් සතිපතා නිරීක්ෂණය කෙරෙන අතර, එම නිසා වෛරසය පැතිරී යාමේ අවදානම අවම කරගැනීමට හැකියාව ලැබුණි.

“SLT-MOBITEL යනු සැබැවින්ම ශ්‍රී ලාංකික දුරකථන සන්නිවේදන සමාගමක්. අපේ රටට සහ ජනතාවට සේවය කිරීමට අප එක සිතින් කැපවී සිටිනවා. එමෙන්ම රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතයේ ලුහුඬුතා අවම කිරීම සඳහා අවශ්‍ය ජාතික මට්ටමේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා විදුලි සංදේශ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අප ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරනවා” යනුවෙන් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

“සමාලෝචිත කාලසීමාව තුළ SLT-MOBITEL අත්කරගෙන ඇති වර්ධනයට ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ අපගේ සේවාවේ ගුණාත්මක භාවයයි. ගාස්තු අවම කරමින් පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා අප ගත් උත්සාහයන්, අපගේ ගෘහස්ථ දුරකථන, අන්තර්ජාල හා PEO TV සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක්වී තිබෙනවා. එමෙන්ම වසංගත රෝග ව්‍යාප්තිය අතරතුර තම ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අපගේ සේවාවන් භාවිතා කළ ව්‍යාපාරික සමාගම් මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාර වලට ද අපගේ පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම් මගින් බොහෝ ප්‍රතිලාභ හිමි වී තිබෙනවා. එමෙන්ම, 2021 වසරේ සිට SLT-MOBITEL වශයෙන් සන්නාම ඒකාබද්ධ කිරීමට අප ගත් තීරණය නිසා, දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ පිරිවැය අවම වීම සහ වැඩි ප්‍රචාරණයක් හිමි වීම වැනි ධනාත්මක ප්‍රතිඵල රාශියක් අප වෙත ලැබී ඇති බව පැහැදිලියි” යනුවෙන් SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසී ය.

2021 වසරේ ප්‍රථම අර්ධය තුළ, සමූහයේ පරිපාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT) හි පිරිවැටුම 14.7% කින් වර්ධනය වී, රු. බිලියන 29 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය ද 42.2% කින් වර්ධනය වී, රු. බිලියන 3.9 ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම සමූහයේ ජංගම දුරකථන සේවා සමාගම වන මොබිටෙල් (පුද්.) සමාගම ද අදාළ කාලසීමාව තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාල සේවාවන්හි වර්ධනය හේතුවෙන් 2021 වසරේ ප්‍රථම අර්ධය තුළ මොබිටෙල් සමාගමේ ආදායම ද්විත්ව ඉලක්කම් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, කාර්යක්ෂම මෙහෙයුම් හා ප්‍රාග්ධන පිරිවැය කළමනාකරණය හේතුවෙන් සුවිශේෂී ලාභදායීත්වයක් සමග පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව එහි බදු-පසු ලාභය 47.7% කින් වර්ධනය වී තිබේ.

“දීප ව්‍යාප්තව අධිවේගී Fibre-to-the-Home (FTTH) සම්බන්ධතා ලබාදීම අරමුණු කරගත් වේගවත් ෆයිබර් පුළුල්කරණ වැඩසටහනක් සමගින් SLT-MOBITEL සාර්ථක ලෙස ඉදිරියට යමින් සිටිනවා. එමෙන්ම දැනට පවතින 4G ජාලය තවදුරටත් පුළුල් කිරීමටත්, වැඩිදියුණු කිරීමටත් කඩිනම් පියවර ගනු ලැබුවා” යැයි SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා පැවසී ය.

“වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස, ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නැංවීමටත් SLT-MOBITEL පියවර ගත්තා. ‘ගමට සන්නිවේදනය’ සහ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන් සමග අත්වැල් බැඳගැනීම ඊට එක් උදාහරණයක්. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එක්වී, මූලික සන්නිවේදන මධ්‍යස්ථාන සහ 4G කුලුනු ඉදිකරමින්, රටේ ග්‍රාමීය ප්‍රදේශ වලටද සම්බන්ධතා පහසුකම් ලබාදීමට අප කටයුතු කළා. මීට අමතරව, ‘සබැඳියාවේ සත්කාරය’ වැඩසටහන යටතේ දිවයින පුරා රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමටත් SLT-MOBITEL පියවර ගෙන තිබෙනවා” යැයි Mobitel ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 09:58