May 15, 2024

කොරෝනා ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමට උත්සව කළමනාකරුවෝ සැරසෙති

කොළඹ නගරය සඳහා පනවා තිබූ Covid - 19 සීමා රැසක් මේ වනවිට ලිහිල් කර ඇති තත්ත්වය යටතේ යළිත් උත්සව සංවිධානය කිරීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත් කිරීමට උත්සව කළමනාකරණ සංගමය පසුගියදා කටයුතු කළේ ය. උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලු‍ම දෙනා මෙම මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමා නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. එම නිසා ඉදිරියේ දී යළිත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව උත්සව කළමනාකරණ සංගමය පෙන්වා දෙන අතර, ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය හා සනීපාරක්ෂක විධිවිධාන නව අත්පොතෙහි සවිස්තර ලෙස දක්වා ඇතැයි ද සඳහන් කරයි.

උත්සව කළමනාකරණ සංගමය යනු උත්සව කළමනාකරණ සමාගම් මෙන්ම මංගල උත්සව සැලසුම්කරුවන්, උපකරණ කුලියට දෙන සමාගම් (නාද පද්ධති, ආලෝකකරණ පද්ධති, LED ආදිය), වේදිකා සහ පසුතල නිර්මාණකරුවන්, ගෘහභාණ්ඩ සහ යටිතල පහසුකම් කුලියට දෙන සමාගම්, ඩිජිටල් නිර්මාණ සමාගම්, උත්සව ශාලා, මල් සැපයුම්කරුවන්, සංගීතඥයන්, වඩු කාර්මිකයන්, උත්සව සහය සේවා සපයන්නන්, විනෝදාස්වාද සේවා සපයන්නන්, නර්තන කණ්ඩායම්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් නිර්මාණ ශිල්පීන්, පිරිසැකසුම්කරුවන්, කාර්මිකයන් සහ තවත් බොහෝ අංශ නියෝජනය කරන සංවිධානයකි. මෙම ක්ෂේත්‍රය සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයට රු. බිලියන 30 ක පමණ දායකත්වයක් ලබාදෙයි.

“අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම පිළිබඳව රජයට අපගේ ස්තූතිය හිමිවනවා. ඉතාමත් දුෂ්කර මාස කිහිපයකට පසුව දැන් අපගේ සාමාජිකයන්ට යළිත් තම ජීවනෝපායන්හි නියැළීමට අවස්ථාව ලැබේවි. කෙසේ නමුත් Covid - 19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන අප දැඩිව අනුගමනය කළ යුතුයි. මීට පෙර උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණු විට, ඇතැම් අය මෙම ආරක්ෂක විධිවිධාන මුළුමනින්ම නොතකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් වුණා. යළිත් එවැනි තත්ත්වක් උදාවී Covid - 19 රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත්, නැවතත් උත්සව තහනම් වී මුළු කර්මාන්තයම කඩා වැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු‍ම දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ යළිත් එවැනි තත්ත්වක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් මෙම විධිවිධාන සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු‍ම දෙනාගෙන් අප දැඩිව ඉල්ලා සිටිනවා.” උත්සව කළමනාකරණ සංගමයේ සභාපති රොෂාන් විජයරත්න මහතා පැවසී ය.

“බොහෝ උත්සව කළමනාකරණ සමාගම් තම යටිතල පහසුකම්, උපකරණ හා පුහුණු කටයුතු ආදිය සඳහා රු. මිලියන 10 පමණ සිට රු. මිලියන 800 ක් පමණ දක්වා සුවිශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා. ඔවුන් දැන් සිටින්නේ සේවක වැටුප් ගෙවීමට හෝ මූල්‍යමය වගකීම් පියවීමට පවා නොහැකි තත්ත්වයකයි. නිසි අත්වැලක් නොමැති වුවහොත් මේ සමාගම් බංකොලොත් වේවි. එසේ වුවහොත් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු 130,000 කට අධික පිරිසකට සහ වක්‍ර රැකියා වල නියුතු 600,000 කට අධික පිරිසකට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් විශාල බලපෑමක් ඇතිවෙනවා.” උත්සව කළමනාකරණ සංගමයේ උප සභාපති සජිත් කොඩිකාර මහතා පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 July 2021 21:21