April 26, 2024

සේවකයින්ගේ කැපවීමට පැසසුම් - ශ්‍රී ලන්කන් සභාපති

කොවිඩ් -19 වසංගතයත් සමඟ ගෝලීය ගුවන් කර්මාන්තය දැඩි ආර්ථික පීඩනයන්ට මුහුණ දී සිටියි. ගුවන් සේවය කෙරෙහි ඇති වන දිගුකාලීන බලපෑම්, සනීපාරක්ෂාව සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් වඩාත් දැඩි ලෙස මතුවෙමින් පවතින අවධියක ශ්‍රී ලංකන් ගුවන් සමාගම මූල්‍ය අර්බුදයකට ද මුහුණ දී සිටී. මෙවන් අභියෝගාත්මක අවධියක ගුවන් සේවයේ මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සිය සේවකයින් දරන උත්සාහය සහ කැපවීම පැසසුමට ලක්කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, තම සාමාජිකයින්ගේ ජීවනෝපායන්ට සහ ගුවන් සේවය කෙරෙහි වන බලපෑම අවම කිරීමට කළමනාකාරීත්වය විසින් ගන්නා ලද පිරිවැය අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව මෙලෙස අදහස් දක්වනු ලබයි.

2021 වර්ෂයේ ආරම්භය ශ්‍රී ලංකන් ගුවන් සේවයට බලාපොරොත්තුවක් ඇති කර වූ වසරක් වන අතර, ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වන තෙක් අපි සැම ඉවසීමෙන් බලා සිටින්නෙමු. ගෝලීය වසංගතය හේතුවෙන් 2020 වසරේ දී සහ 2021 වසරේ දී ගුවන් සමාගමක් ලෙස අප දුෂ්කර කාලයකට මුහුණ දී සිටිය ද, සේවකයින් සහ පුද්ගලයන් වශයෙන් මෙවැනි වසංගතයට මුහුණ දීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයින් සතු ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් අපට පෙන්වා දෙන ලදී.

කොවිඩ් -19 වසංගතයේ තුන්වන රැල්ල සමඟ අපි ජාතියක් ලෙස සටන් වදින අතර, පෙර අවස්ථාවන්ට වඩා මේ අවස්ථාවේදී එයට මුහුණදීම අසීරු වුවද, අපගේ කාර්ය මණ්ඩලයේ ධෛර්යය හා කැපවීම මත එම බරපතල අභියෝගයට සාර්ථකව මුහුණදීමට ද අපට හැකි විය. දුෂ්කර තත්වයන් යටතේ වුවද දෛනික මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කළ අපගේ සේවකයින්ගේ ප්‍රශංසනීය දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය ඉතා අගය කොට සලකන අතර, ලබාදෙන්නාවු සහයෝගය සහ කැපවීම වෙනුවෙන් මාගේ අවංක කෘතවේදීත්වය පුදකිරිමට මෙය අවස්ථාවක් කොටගනු කැමැත්තෙමි.

වසංගතය ආරම්භයේ සිට කළමනාකාරිත්ව තීරණ ලෙස , අඩුකිරීම් සහ වෙනත් ප්‍රතිලාභ කප්පාදු කිරීම් ඇතුළුව අප විසින් ක්‍රියාත්මක කළ පිරිවැය අවම කිරීමේ ක්‍රියාමාර්ග වැනි දැඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපගේ ශ්‍රී ලංකන් පවුලේ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ම මෙන්ම වෘත්තීය සමිති ද සිය සහයෝගය උපරිම ලෙස ලබා දෙන ලදී. සේවකයින්ට, පෞද්ගලික වශයෙන් මෙම ක්‍රියාමාර්ගයන් හේතුවෙන් සෘජුවම බලපෑම් එල්ල වුවද, ඔවුන් මෙම අභියෝගාත්මක කාලය පුරාම සාමූහික කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව මනාවට පෙන්නුම් කරන ලදී. එසේම ඔවුන් අපගේ ශ්‍රේෂ්ඨතම වත්කම බව දිගින් දිගටම ඔප්පුකර ඇත.

වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ විදෙස්ගතව සිටින පවුල් වල සාමාජිකයන් සහ මිතුරන් සිය මව් රටේ පිරිස් සමඟ සම්බන්ධ වීමට අපේක්‍ෂා කළද, ගෝලීය වසංගතය සමාජ හැසිරීමට විශාල වශයෙන් බලපා ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම තවමත් අවිනිශ්චිතව පවතින අතර, කොරෝනා වෛරස තත්ත්වය අඛණ්ඩව දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටින බව පෙනී යයි. මේ හේතුවෙන් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා බොහෝ රටවල් මෙන්ම අප රට ද මේ වනවිට පියවර ගෙන තිබේ.  සංචාරක ව්‍යාපාරයේ තිරසාර භාවයට සහාය වීම සඳහා සැලසුම් සකස් කිරීම, ඩිජිටල් ක්‍රියාවලි ප්‍රවර්ධනය කිරීම , හරිත සංචාරක පද්ධතියකට මාරුවීම සහ අනාගතය සඳහා සංචාරක කටයුතු පිළිබඳව නැවත සිතා බැලීම මෙයට ඇතුළත් ය.

අපගේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් නිසැකවම අපගේ විශාලතම වත්කම වන අතර, ජාතික ගුවන් සේවය  සාර්ථක හා ලාභදායී ආයතනයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පැහැදිලි දැක්මක් සහ ආක්‍රමණශීලී ව්‍යාපාරික සැලැස්මක් ඇත. කෙසේ වෙතත්, වසංගතයේ අනපේක්ෂිත භාවය හා අවාසනාවන්ත ලෙස තෙවන රැල්ලක් ඇතිවීම හේතුවෙන්, වර්තමාන තත්වය යථා තත්ත්වයට පත්වන තෙක් සමහර සැලසුම් කල් දැමීමට අපට සිදුවිය.

පවතින ලෝක ස්වභාවය වාසිදායක නොවුනද, ගුවන් සේවය නොනවත්වා තබා ගැනීම සඳහා සියලු ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට අපි සෑම උත්සාහයක්ම ගෙන ඇත්තෙමු. සෑම ව්‍යාපාර අවස්ථාවක්ම ලබා ගැනීම සඳහා ව්‍යාපාරයේ සෑම කාර්යයක්ම පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීමට පියවර කිහිපයක් අප විසින් හඳුන්වා දී ඇත. වසංගතය විකාශනය වන ස්වාභාවය දැඩි ලෙස නිරීක්ෂණය කරමින්, අපගේ උපාය මාර්ගික සැලසුම් නිරන්තරයෙන් නැවත තක්සේරු කර, ඒ අනුව අපගේ ඉදිරි පියවර සකස්  කිරීමට කටයුතු කරන්නෙමු.

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ ධාරිතාව දළ වශයෙන් 60% සිට 80% දක්වා අඩුවී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2020/21 මූල්‍ය වර්ෂය තුළ ආදායම පෙර වසර හා සසඳන විට 70% කින් අඩුවී තිබේ.

ගෝලීය සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති වු මෙවන් වකවානුවක ගුවන් සමාගම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් පුළුල් කිරිම තුළින් මගී ගමන් වල අහිතකර බලපෑම උපායමාර්ගිකව අඩු කිරිමට කටයුතු කරන ලදී. මේ සඳහා අපගේ ගුවන් යානා බලඇණිය භාණ්ඩ ප්‍රවාහනය සහ සීමිත මගී මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් විය. පුළුල් බඳ සහිත ගුවන් යානා, භාණ්ඩ මෙහෙයුම් සඳහා ප්‍රමුඛව භාවිතා කරන ලද අතර, මගී සේවා සඳහා පටු බඳ සහිත ගුවන් යානා භාවිත කරන ලදී. කෙසේ වෙතත් බහුතරයක් ගුවන් යානා භූමියේ නවතා ඇත.

දේශසීමා සීමා කිරීම සහ ගුවන්තොටුපල වසා දමා තිබීම හේතුවෙන්, ලොව පුරා අතරමං වූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමෙන් ජාතික ගුවන් සේවය ලෙස අපගේ යුතුකම් ඉටු කළ අතර, ඉදිරියට ද එම කාර්යය සඳහා අපගේ පූර්ණ දායකත්වය ලබාදෙන්නෙමු. 2020 අප්‍රේල් මස සිට 2021 මාර්තු මාසය දක්වා කාලය තුළ විශේෂ ගුවන් ගමන් 229 කින් මගීන් 74,032 ක් ආපසු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. කෙසේ වෙතත්, 2021 අප්‍රේල් මස සිට ජුනි මාසය දක්වා මගීන් 35,612 ක් අපගේ නියමිත ගුවන් ගමන් හරහා මෙරටට ගෙන්වා ගන්නා ලද අතර, ශ්‍රී ලංකාවට වෙනත් ගුවන් සමාගම් විසින් ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති වැඩි ඉල්ලුම සපුරාලීමට ද අපි කටයුතු කළෙමු.

කොවිඩ් -19 වසංගතය 2020 අප්‍රේල් මස සිට 2021 ජුනි දක්වා ව්‍යාප්ත වී ඇති පසුබිමක ඈත පෙරදිග, අප්‍රිකාව, ඉන්දියානු උප මහද්වීපය, යුරෝපය සහ මැදපෙරදිග සම්බන්ධකරමින් පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නියමිත ගුවන් ගමන් 3,039 ක් සහ නිත්‍ය කාලසටහනක් නොමැතිව භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් 165 ක් ක්‍රියාත්මක කරන ලදී. ගුවන් සේවය ටොන් කිලෝ ග්‍රෑම් 77 ක ට වැඩි ගුවන් භාණ්ඩ ප්‍රවාහනය  කරමින් ජාතික ආර්ථිකයට සහාය දක්වයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සහ මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන්තොටුපළ (DME) අතර සතිපතා නියමිත ගුවන් ගමනක් සමඟ අපි මේ ජූලි මාසයේදී රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කරන්නෙමු. පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත  එයාර් බස් A330 ගුවන් යානා භාවිතා කරමින් අප එම ගුවන් ගමන් සඳහා පහසුකම් සපයනවා පමණක් නොව එය දෙරට අතර සමීප ද්විපාර්ශ්වික ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනඟා ගැනීමට පෙළඹවීමක් ද වනු ඇත.

එමෙන්ම, වර්තමාන ගුවන් ගමන් කාලසටහන ගමනාන්ත 29 කට වැඩි ගණනකට මගී සහ භාණ්ඩ දායකත්වය සපයන ජාලයකින් සමන්විත වේ. වර්තමාන කාලසටහනේ නව ගමනාන්ත අතරට සිඩ්නි, ඉන්චියොන්, නයිරෝබි, ෆ්‍රැන්ක්ෆර්ට් සහ මොස්කව් එක්වූ අතර, එම මෙහෙයුම් ජූලි මස ආරම්භ වේ. මෙහිදී දේශීය අපනයන අංශය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව විදේශ මුදල් ගලා ඒම සහතික කිරීම සඳහා ඉහළ නංවන ලද ධාරිතාවෙන් 60% කට වැඩි ප්‍රමාණයක් දේශීය අපනයන සඳහා වෙන් කර ඇත.

ගුවන් යානා කල්බදු කුලී අඩුකිරීම්, සේවකයින් සම්බන්ධ පිරිවැය ඉතිරිකිරීම්, ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමයක් (VRS) ක්‍රියාත්මක කිරීම, රැකියා කිහිපයක් ඒකාබද්ධ කිරීම සහ ගුවන් යානා කල්බදු ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම තුළින් මුදල් වියදම සැලකිය යුතු ලෙස 44% කින් අඩු කිරීමට අපට හැකි විය. කෙසේ වෙතත්, අවිනිශ්චිත වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ගුවන්යානා කර්මාන්තයෙන් ආදායම් අඩුවීමක් අපේක්ෂා කරන බැවින්, අවම වශයෙන් මේ වසර අවසානය දක්වා ආදායම් අහිමිවීමක් අපේක්ෂා කරනු ඇත.

අප සමඟ පියාසර කරන විට මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි පියවර ගණනාවක් ගෙන ඇත. සෞඛ්‍ය සහ ආරක්ෂණ පියවර සමස්ත මගී ගමන පුරා ක්‍රියාත්මක වන අතර, අප ගනු ලැබු එම උත්සාහය සාක්ෂාත් වීමක් ලෙස ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) විසින් ඩයමන්ඩ් ශ්‍රේණිගත කිරීම අප වෙත පිරිනමන ලද අතර, දකුණු ආසියාවේ එවැනි ශ්‍රේණිගත කිරීමක් ලැබූ එකම ගුවන් සේවය ලෙස අපි ආඩම්බර වන්නෙමු.

තවද කොවිඩ් -19  ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂිත හා පූර්වාරක්‍ෂක ඵලදායී පියවරයන්  ද පසුගියදා ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේ දී (ALA) “ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන” කාණ්ඩය යටතේ “විශිෂ්ටතම සෞඛ්‍යය කළමනාකරණය ” සඳහා වූ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මේ වනවිට පියාසර කාර්ය මණ්ඩලයෙන් 95% ක් ද මෙහෙයුම් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ද සම්පූර්ණ එන්නත්කරණයට භාජනය කර ඇති අතර, රජයේ බලධාරීන්ගේ සහාය ඇතිව ගුවන් සමාගම සිය කාර්ය මණ්ඩල එන්නත් කිරීමේ වැඩසටහන 100% සාර්ථකත්වයට ළඟා වෙමින් සිටී. අඛණ්ඩව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා කාලෝචිත හා තීරණාත්මක අවශ්‍යතාවයක් වූ ගුවන් කාර්ය මණ්ඩලයට අවශ්‍ය එන්නත් ලබා දීම පිළිබඳව, රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට අපගේ ස්තූතිය ප්‍රකාශ කිරීමට ද මෙය අවස්ථාවක් කොට ගනු කැමැත්තෙමු.

වසර අවසාන වන විට බොහෝ රටවල් ගුවන් ගමන් සඳහා දේශ සීමා විවෘත කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. එමඟින් අපගේ වාණිජ මගී මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සහ අපේ ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි වන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය රඳා පවතින්නේ සංඛ්‍යාත්මක හා ක්‍රමානුකූලව මගී ගමන් නැවත යථා තත්ත්වයට පත් කිරීම තුලින් වන අතර, අපගේ සියලුම ඉලක්ක අන්තර්ජාතික ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කිරීම හා බැඳී පවතියි.

මෙම අර්බුදයේ අවසානය දෙස අපි බලා සිටිමු. අපගේ ගුවන් සේවයේ සාර්ථකත්වය කෙරෙහි අපගේ ශක්තිය යොමු කරමින් ජාතික ආර්ථිකයට අපි සහාය වෙමු. සමස්තයක් වශයෙන්, සුභවාදී බලාපොරොත්තුවක් අපේක්ෂා කරන අතර, ඉතා ඉක්මනින් අපි පෙර පැවති අභිමානයෙන්ම ගුවන් ගත වීමට බලා සිටිමු.

අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය සහ සේවක මණ්ඩලයට ස්තූතිය පුද කිරීමට මම මෙය අවස්ථාව කර ගනිමි. තවද අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජය අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ජාතික ගුවන් සේවය වෙත අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව ස්තූතිවන්ත වෙමි.

 

අශෝක් පතිරගේ

සභාපති - ශ්‍රී ලංකන් ගුවන් සේවය

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 21:22