May 16, 2024

මහජන බැංකුවට හැට වසරයි

ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට එනම් අදට 60 වසරක් සපිරෙයි. සිය සයවන දශකය සපුරන මේ මොහොත වන විට ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන තාක්ෂණය මුසු සේවා රැසක් හදුන්වාදීමට ඇපකැප වූ මහජන බැංකුව මහජනතාවගේ බැංකුව ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් තුළ ගෞරවනීය ස්ථානයක් හිමිකරගෙන තිබේ.  

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ,  ආහාර සමූපකාර හා නාවික  කටයුතු අමාත්‍යවරයා වූ  ගරු ටී.බී.ඉලංගරත්න ශ්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

ඉංග්‍රීසි, උගත් ඇති හැකි පැළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක්‍රමය දෙදරා යෑමට මුල පිරුනේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඑලයක් ලෙස සිංහල හා දමිළ භාෂාවෙන් වැඩ කිරිම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකිවිය.

එමෙන්ම මුල් අවධියේදී කෘෂිකර්මාන්තය, වතු ආර්ථිකය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ විදේශ විනිමය ඉපයීම සඳහා විවිධ ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දෙන ලදි.  සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද ඒ සමගම රන් භාණ්ඩ උකස් සේවා කටයුතු වලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය.  රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව කි්‍රයාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ වෙළදපල විධිමත් විය.

මේ වන විට මහජන බැංකුව රුපියල් ට්‍රිලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයකි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 741 කි.  එමෙන්ම දිවයින පුරා පිහිටා ඇති 250 කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් තුළින් වසරේ දින 365 පුරාම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුළු වසර පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. මෙම ගනුදෙනුකාර ප්‍රජාව වෙත ඉහළම සේවාවන් ලබාදීම සඳහා අට දහසකට අධික මහජන බැංකු කාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම ඇපකැපවී සිටී.

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා,

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුවහන් කරමින් 1961 ජුලි 01 වැනිදා ස්ථාපිත කළ මහජන බැංකුව අද දින ඉමහත් අභිමානයෙන් යුතුව සිය 60 වැනි සංවත්සරය සමරනවා.

වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවති මෙරට සමාජ ආර්ථීක ප්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවරද සුඵ පටු නැහැ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි, මාර්ග, සංචාරක,යටිතල පහසුකම් ආදි ක්ෂේත්‍රයන් සදහා මූල්‍ය පහසුකම් ලබා දෙමින් රටේ ආර්ථීක සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුඵපටු නැහැ.

එමෙන්ම රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව කි්‍රයාත්මක වන්නේ හුදු ලාභ ලැබීමේ අරමුණින්ම නොවේ. සිය සමාජ වගකීම මැනවින් වටහා ගෙන තිබෙන මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව කොවිඩ්-19 අර්බුදයත් සමග ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දෙන මේ අවස්ථාවේදි ජාතික ආර්ථීකය ස්ථාවරව පවත්වා ගන්නට මහජන බැංකුව විශාල දායකත්වයක් ලබාදුන්නා.

ඉදිරියටත් අපේක්ෂා සපිරි ශ්‍රී ලාංකිකයින්ගේ බැංකුව ලෙස මහජන බැංකුව ඉදිරියටත් ඔබ සැමට වඩාත් කාර්යක්ෂමව මූල්‍ය පහසුකම් පිරිනැමීමට සැදී පැහැදී සිටිනවා.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා "මහජන බැංකුවේ ආරම්භයත් සමඟ ඉංග්‍රීසි උගත් ඇති හැකි අයට පමණක් සීමාවි තිබූ බැංකු ක්‍රමය පොදු මහජනතාවට විවෘත වුනා.එතැන් සිට දශක හයක් පුරා මහජන බැංකුව තම නිෂ්පාදන හා සේවා කළඹ පුළුල් කරමින් අපේක්ෂා සපිරි ශ්‍රී ලාංකිකයින්ව මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වුවා. එමෙන්ම රටේ සමාජ ආර්ථීක සංවර්ධනයටත් මහජන බැංකුව ලබාදෙන්නේ විශාල සහයෝගයක්.

මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට නවීන තාක්ෂණයේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ නව මුල්‍ය ප්‍රවණතා හැකියා හදුන්වා දෙමින් උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ඔවුන් වෙතට සමීප කිරීම කටයුතු කරනවා. ඉදිරියටත් නව ලොව ප්‍රවණතා සමග යමින් නවීනතම බැංකුකරණ අත්දැකීම් ජනතාව වෙත සමීප කිරීමට අප පෙරමුණ ගන්නා බව කියන්න කැමතියි."

විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැලපෙන පරිදි සන්නම් නාම ගතකරන ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබා දීමට ද මහජන බැංකුව ක්‍රියාකරයි. පුද්ගල ණය පහසුකම්, නිවාස ණය පහසුකම්, වෘත්තීය ණය පහසුකම්,  අධ්‍යාපනික ණය පහසුකම්, රථවාහන ණය මේ අතරින් විශේෂය. එමෙන්ම ගොවි ජනතාව, ධීවර ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා විවිධ ණය යෝජනා ක්‍රම රැසක් ද හඳුන්වා දී ඇත.

එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැලපෙන පරිදි සිය ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරිමේ අරමුණින් 2015 වසරේදි ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී. ඒ අනුව බැංකුවේ පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා සිය මෙහෙයුම් අංශ ඇතුළත් වන පරිදි සමස්ත මෙහෙයුම් ආකෘතියම ආවරණය කරමින් අංග සම්පූර්ණ ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් දිවයිනේ ප්‍රථම බැංකුකරණ ආයතනය වන්නේ මහජන බැංකුවයි.

මෙමගින් මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළම තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසෙන අතර, දැනට ලොව පවතින දියුණුතම තාක්ෂ‚ක පදනමක් සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය සදහා මහජන බැංකුව උපයෝගී කරගෙන තිබේ.

මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන නිපැයුම්වලින් එකක් වන “People’s Wiz" නිමැයුම විසින් බැංකුවක් වෙත ගොස් ගිණුමක් විවෘත කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය නව වෙනසකට බදුන් කරන ලද අතර, “People’s Wiz" නිමැයුම තුළින් කඩදාසි භාවිතයකින් තොරව ඩිජිටල් තාක්ෂණයෙන් බැංකු ගිණුමක් විනාඩි 10 වැනි සුඵ වේලාවකින් විවෘත කිරිමේ හැකියාව සලසා තිබේ.

මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ බැංකු සේවාවන් දවසේ ඕනෑම වේලාවක ශාඛාවන් වෙත නොගොස් තම ජංගම දුරකතනය පමණක් භාවිතයෙන් සිදු කර ගැනීමට හැකියාව සලසමින් මහජන බැංකුව People’s Wave Mobile Banking App පහසුකම හදුන්වා දුන් අතර, එය රටේ වැඩියෙන්ම බාගත කළ මූල්‍ය සේවා යෙදවුමක් බවට පත්ව ඇත.

එමෙන්ම මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැවුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය 24ක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit හදුන්වා දෙන ලදි.

මීට අමතරව People’s Wyn නමින් ආයතනික ගනුදෙනුකරුවන් සදහාම මහජන බැංකුව විශේෂයෙන් ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දී ඇත. එමෙන්ම People’s Web නමින් අන්තර්ජාල බැංකු පහසුකම වන මෙය 2018 වසරේදී හඳුන්වා දුන්නේය. මෙම පහසුකම පුද්ගල කේන්ද්‍රිය ගනුදෙනුකරුවන් සදහා People’s Web Personal සහ ආයතනික ගනුදෙනුකරුවන් සදහා People’s Web Corporate යනුවෙන් දෙයාකාර වේ.

එමෙන්ම වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළගාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse” නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද ක්‍රියාවට නංවයි.

මහජන බැංකුවේ විශිෂ්ටත්වය නිරතුරුවම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා නිල්සන් ආයතනය එක්ව පිරිනමන ජනතා සම්මාන පිට පිටම වසර 15 ක් පුරා දිනා ගැනීමට ද මහජන බැංකුවට හැකිවිය.  අන්තර්ජාතික ප්‍රමිතිකරණ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ISO/IEC 27001ඃ2013 තත්වයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රාජ්‍ය බැංකුව වන්නේද මහජන බැංකුවයි.

එමෙන්ම මහජන බැංකුව මෙතෙක් පැමිණි ගමනේදී තවත් ජාත්‍යන්තර සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබේ. විශේෂයෙන් පසුගිය වසර කිහිපයදි පමණක් Asian Banker Excellence in Retail Financial Services Awards, Asia Money Best Bank, World Finance, International Business Magazine ආදි සම්මාන උළෙලයන්හි මහජන බැංකුවේ විශිෂ්ටත්වය සම්මානයට පාත්‍රාවිය. මීට අමතරව The
Banker Magazine විසින් 2020,2019 හා 2018 වසරවලදී මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට නම් කිරීම කෙරුණු අතර,  ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ Daily FT පුවත්පත විසින් 2018, 2019 සහ 2020 වර්ෂයන්හිදී අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත් වූ ආයතන 10 අතරට මහජන බැංකුව ඇතුළත් කරන ලදි.

පුුරා හැට වසරක් සිය ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වූවා සේම ඉදිරියටත් ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, මහජනතාවගේ බැංකුව ලෙස මෙරට බැංකු ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක වැජඹිම මහජන බැංකුවේ අපේක්ෂාවයි.

Rate this item
(0 votes)