May 04, 2024

රජයේ විශ්‍රාමිකයන් හට අලුත් වැඩක්

රජයේ විශ්‍රාමික වැටුප් දෙපාර්තමේන්තුව, ඒෂියන් එලයන්ස් ඉන්ෂුවරන්ස් සමාගමහා කලම්බුරේ ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් හා එක්ව පසුගියදා ‘බුහුමන් රක්ෂණාවරණය’නමින් සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණාවරණයක් එළිදක්වා තිබේ. මෙමගින් 530000 ක් පමණ වන රජයේ විශ්‍රාමිකයන් හට පහසුකම් සැලසෙනු ඇති.

බුහුමන් රක්ෂණාවරණය මගින් පෞද්ගලික අනතුරු ආවරණය, රෝහල් ආවරණය, අවමංගල්‍යවියදම් ආවරණය සහ අසාධ්‍ය ලෙඩ රෝග ආවරණය යනාදී ආවරණ සඳහා පහසුකම් සැලසෙන අතර එමගින් වර්තමානයේ පවතින රක්ෂණාවරණ මගින් නොලැබෙන බොහෝ ආවරණ ලැබෙනු ඇත.

මෙම පළමු බුහුමන් රක්ෂණාවරණය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු  අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතාට පැවැති උත්සවයකදී පිළිගන්වන ලදි.

බුහුමන් රක්ෂණාවරණය රුපියල් 125000 සිට රුපියල් 500000 දක්වා රක්ෂණ සැලසුම් 3ක් යටතේ ක්‍රියාත්මක වන අතර විශ්‍රාමිකයන් හට තමන්ගේ මූල්‍ය තත්ත්වය අනුව මෙම සැලුසම් තුනෙක් එකක් තෝරාගත හැක. එමෙන්ම මාසිකව ගෙවිය යුතු මුදල රුපියල් 200 සිට රුපියල් 400 දක්වා අවම මට්ටමක පවතී.

මෙහි ඇති විශේෂ ලක්ෂණයක් නම් වාර්ෂික වාරිකයක් වෙනුවට මාසික වාරිකයක් හඳුන්වාදී තිබිමයි. එමෙන්ම වයස සීමාව සාමාන්‍යයෙන් පවතින අවුරුදු 65 සීමාව වෙනුවට වයස අවුරුදු 75 දක්වා වැඩිකර ඇත.

මෙම රක්ෂණාවරණය නිර්මාණය කළ කලම්බුරේ ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්හි ව්‍යාපාර සංවර්ධන කළමනාකාරීණී රෝෂිණී ‍පෝෂිතා මිය පවසනු ලැබුවේ සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට නම් රක්ෂණ සමාගම් සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස් නව රක්ෂණාවරණ ඉදිරිපත් කළ යුතු බවයි. රජයේ විශ්‍රාමිකයින් හට බුහුමන් රක්ෂණාවරණය නිර්මාණය කරනු ලැබුවේ රක්ෂණ සමාගම් 6ක් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවද ඇය වැඩිදුරටත් පවසන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 08:57