May 17, 2024

දැව කැටයම් ගම්මානයත් දේශීය ආර්ථිකයට දායක කරගනී.

සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනයට 2012 අයවැය ප‍්‍රතිපාදන යටතේ වෙන් කරනලද ප‍්‍රතිපාදනවලින් රු.මිලියන 7.5ක වියදමකින් සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ඉදිකළ බෝපේ - පෝද්දල දැව කැටයම් ගම්මානය  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්ජනතා අයිතියට පත් විය.

මෙහිදී ශිල්පීන් සඳහා උපකරණ ලබාදීම, නව මෝස්තර පුහුණුව ලබාදීම, ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළක් සැකසීම,වෙළෙඳ පොළ අවස්ථා විවර කරදීම ආදී කටයුතු රැසක් සම්බන්ධීකරනය කරනු ඇති. ගාල්ල, බෝපේ පෝද්දල සාම්ප‍්‍රදායික ලී කැටයම් ගම්මානයේ ශිල්පීන් සඳහා උපකරණ බෙදාදීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය. 150 දෙනෙකු වෙත උපකරණ ප‍්‍රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත ජනාධිපතිවරයා අතින් උපකරණ ප‍්‍රදානය
කෙරිණි.

ශිල්පීන්ගේ වැඩහල් නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.සාම්ප‍්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ ගම්මාන 07ක් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර මහනුවර නීලවල ස්වර්ණාභරණ ගම්මානය, මහනුවර කූරගල සංගීත භාණ්ඩ ගම්මානය, මාතර හිත්තැටිය සංගීත භාණ්ඩ ගම්මානය, මාතලේ පහළ හපුවිද ලාක්ෂා ගම්මානය, මාතලේ උණවේරුව සේසත් ගම්මානය, කළුතර බටුවිට, බණ්ඩාරවත්ත වෙස් මුහුණු ගම්මානය ඊට ඇතුළත් වෙයි.

Rate this item
(0 votes)