April 26, 2024

ශ්‍රීලනිපයේ තීන්දුව අද එළියට! නායක පුටුව ඇතුළු තනතුරු මාරුවත් අද

February 25, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා මහ ලේකම් ඇතුළු නව නිලධාරි මණ්ඩලය පත් කිරීම අද (25) සිදු කිරීමට නියමිතය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමේදී මෙම නව නිලධාරීන් පත් කිරීමට නියමිතය.

මෙහිදී පක්ෂ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (25) පැවැත්වෙන විධායක සභාවට දැනුම්දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් කොමිෂන් සභා වාර්තාව පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගන්නා වූ ඕනෑම නීතිමය පියවරකදී පක්ෂය පෙනී සිටීමට ද ඒකමතිකව තීන්දු කර ඇත. ඊට අදාළ යෝජනාව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු කොමිෂන් වාර්තාවෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සමන්විත කමිටුවක් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති එම කමිටුවට පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ කිහිප දෙනෙක් අයත් වන බව එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම කමිටුව ඊයේ (24) රාත්‍රියේම රැස්වී වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත විය. වාර්තාවට අදාළව මධ්‍යම කාරක සභාවේ දී සාමාජිකයන් ඉදිරිපත් කරන ලද අදහස් මෙම කමිටුව සැලකිල්ලට ගන්නා බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කමිටුවේ ස්ථාවරය අද පැවැත්වෙන විධායක සභාවට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර වාර්තාවට අදාළ පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇමරිකාවට එල්ල කළ ප්‍රහාරය මෙන්ම නවසීලන්තයේ දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති මධ්‍යම කාරක සභාවේ ඇතැම් සාමාජිකයන් එවැනි අවස්ථාවන්හිදී එම රටවල නායකයන් කටයුතු කළ ආකාරය පිළිබඳවත් අදහස් පළ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 21:47