April 27, 2024

විදුලිය කපනවාද නැද්ද? අවසන් තීරණය අමුතුයි! Featured

February 16, 2022

විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි මාස තුනක විදුලි කප්පාදු සැලසුම අනුමත නොකළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ උපකල්පන කිහිපයක් මත මෙම තීරණය ගත් බව යි.

අවශ්‍ය තෙල් ප්‍රමාණය නිරන්තරයෙන් ලැබීම, බලාගාරවල දෝශ හට නොගැනීම, පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර (ජෙනරේටර) ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම, විදුලිය අරපිරිමැස්ම ආදිය එම උපකල්පන වනවා.

කෙසේ වෙතත් විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ ද යන්න ස්ථිරව පැවසීමට තමන් හට නොහැකි බව යි රත්නායක මහතා කියා සිටියේ.

“ස්ථිරව කියන්න බෑ. මොකද්ද ස්ථිරව කියන්නේ? අපේ ජීවිතයත් ස්ථිර නැති වෙලාවක මොකද්ද ස්ථිරව කතා කරන්නේ? අපිට තෙල් එන්න ඕන, ජෙනරේටර්ස් වැඩ කරන්න ඕන. එතකොට පවර් කපන්නෑ”

බලාගාරවල යන්ත්‍ර අක්‍රීය වුවහොත් සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද රත්නායක මහතා කරුණු පැහැදිළි කළා.

එහි දී ඔහු පැහැදිළි කළේ කිසියම් හේතුවක් මත මෙගාවොට් 100ක විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වුවහොත් කප්පාදුවක් සිදු නොවන බව යි.

නමුත් මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වුවහොත් දිනකට පැයක් ද, මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රයක් අකීය වුවහොත් දිනකට පැය එකහමාරක් ද විදුලිය කප්පාදු කිරීමට කිරීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව වෙනුවට විදුලිබල මණ්ඩලය වෙත අනිවාර්ය ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට නියෝග කළ බව යි.

එමෙන්ම අද (16) දින සිට ජල විදුලියෙන් නිෂ්පාදනය කර ජාතික පද්ධතියට ලබා දෙන විදුලි ප්‍රමාණය 50%කින් අඩු කිරීමට කටයුතු යොදන බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තව ද ඔහු පැවසූවේ දිනකට පැය 04ක කාලයක් සිය පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර භාවිත කළ යුතු බවට විදුලිය වැඩි වශයෙන් භාවිත කරන ආයතන වෙත අනිවාර්ය කරන බව යි.

මහල් නිවාසවල වෙසෙන ජනතාව සම්බන්ධව ද රත්නායක මහතා අදහස් පළ කළ අතර සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ වායු සමීකරණ අවශ්‍ය නම් ඒ සඳහා විදුලිය සපයාගත යුත්තේ මහල් නිවාස පරිශ්‍රයේ ඇති විදුලි ජනන යන්ත්‍රවලින් බවට ඔහු අවධාරණය කළා.

රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝනය අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවත්, වීදි ලාම්පුවලින් 80%ක ප්‍රමාණයක් නිවා දැමිය යුතු බවත් ඔහු පැවසුවා.

වීදි ලාම්පු නිවා දැමීම මගින් මාර්ගවලට ගැටළු මතුවන්නේ ද, යන්න සිය ආයතනයේ ගැටළුවක් නොවන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

“පාරේ කොහොමද ඇවිදින්නේ කියන එක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර සිටියා.

උපකල්පන මත විදුලි කප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවත් එම කොමිසම මීට පෙර ඉඟි ලබා දුන්නේ දිනපතා විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවට යි.

විදුලි කප්පාදුවකට අවසර ඉල්ලා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ සමාගම සමග මහජන උපයෝගීතා කොමිසම පසුගිය 12 වැනි දා පස්වරුවේ ඒ සම්බන්ධවෙන් සාකච්ඡාවක් ද සිදු කළා.

ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණේ මාස තුනක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදු කිරීමට යි.

ඒ, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස සඳහා යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 February 2022 10:37