April 26, 2024

ජනපති සබරගමු සමන් දේවාලයට!

රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය අද (16) පෙරවරුවේ සබරගමුව මහා සමන් දේවාල පුදබිමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ලබා දී එය ආරක්ෂා කිරීමත් පෝෂණය කිරීමත් අරමුණු කරගෙන ජනාධිපති කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ යටතේ කුල දරුවන් සසුන්ගත කිරීම, භික්ෂූන් වහන්සේගේ හා සිල් මෑණිවරුන්ගේ සෞඛ්‍ය රක්ෂණය, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාව, ආකල්ප වර්ධනය, කුසලතා ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර භාෂා පාඨමාලා සඳහා සහාය වීමට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා පීඨය භික්ෂූන් වහන්සේ උදෙසා ඉංග්‍රීසි, දෙමළ, චීන, හින්දු, ජපන් සහ ජර්මන් භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. එය සංකේතවත් කරමින් ජාත්‍යන්තර භාෂා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එකළොස්නමක් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. 

රත්නපුර මහා සමන් දේවාල පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්හි නිරතව ආශීර්වාද ලබාගත්තා.

පුදබිමට රැස්ව සිටි අති විශාල ජනකායක් ජනාධිපතිවරයාට හරසර දැක්වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමග කතාබහ කරමින් තොරතුරු විමසා බැලීය. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 January 2022 23:48

Related items