April 26, 2024

සරුංගල් නූලක් ජීවිත දෙකක් බිලිගත් හැටි ඇසින් දුටුවෙකු හෙළි කරයි

අගෝස්තු මාසයේ ආසන්න වෙද්දීම මෙරට සරුංගල් යැවීම ආරම්භ වෙමින් තිබෙනවා. මෙලෙස යැවූ සරුංගලයක් හේතුවෙන් බූස්ස ප්‍රදේශයෙන් ඉතා අවාසනාවන්ත අනතුරක් වාර්තා වෙනවා.

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස, පිටිවැල්ල නිපුන නාවික හමුදා කඳවුර අසළ දී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ කඩාගෙන ගිය සූරංගලයක තිබූ නයිලෝන් වර්ගයේ නූලක් යතුරුපැදියකට හසුවීමත් සමඟයි.

පසුගිය 17 වැනිදා මෙම සිදුවීම වී තිබුණු අතර එදින රාත්‍රී 8.20ට පමණ එකම පවුලේ මව පිය සහ දරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගාල්ලේ සිට රත්ගම දක්වා පැමිණමින් සිට තිබෙනවා. එහිදී මෙම කැඩී ගිය සරුංගලයේ නූල යතුරුපැදියේ පැටලී තිබුනු අතර එහිදී යතුරු පැදිය පෙරළි ගොස් තිබෙනවා.

අනතුරින් 35 වැනි වියේ පසුවන මව එම ස්ථානයේ ම මියගොස් තිබුණු බවට වාර්තා වන අතර ඇයගේ වයස අවුරුදු 1 1/2ක් වන දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා. පියා සහ වැඩිමහල් දරුවා තුවාල ලබා රෝහල් ගත කර තිබුණු බවටයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධ ඇසින් දුටු කාන්තාවක් අනතුර ගැන මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවන් කතාවක්,

“එක පාරට බෝක් ගලා සද්දයක් ආවා..මං දොර ඇරලා බලනවත් එක්කම බයිසිකලේ අනිත් පැත්ත.. පොඩි එක්කෙනෙක් තැනක අම්මා තව තැනක.. දෙන්නාගෙන්ම ලේ හෝ ගාලා ගියා..කරගන්න දෙයක් නැතුව මං කෑගැහුවා මල්ලී මල්ලී කියලා.. ඒ පාර කට්ටිය ටික ටක් ගාලා වට වුණා..ඒ අයියා නැගිටලා බයිසිකලයෙන් මෙහාට ආවා.. ඒ අයියාට හොඳට සිහිය තිබුණා.. ලොකු දරුවත් ඇවිදගෙන ආවා.. දෙන්නම අයින් කරලා අරගෙන පොඩි එක්කෙනාව අපිට උස්සන්නවත් බෑ.. ඒ අයියා ගත්තා.. අම්මාවත් උස්සන්න බැලුවා ඒත් උස්සගන්න බැහැ, ඒ අයියාටත් බැහැ.. ලේ යනවා..ඒ පාර වාහනයක් නවත්තලා ගමේ මල්ලීලා ටික එකතු වෙලා ටක් ගාලා දරු දෙන්නා එක්කම ඒ අයියාව යැව්වා.. පොඩි එක්කෙනා හරි බේරගන්න අම්මා බැරි හින්දා.. ඒ අයියා කෑගහගෙන ආවේ මොකක්ද පැටලුනා කියලා.. මට ඒ සද්දේ ඇහුණා..”

එම කාන්තාව කියා සිටියේ යතුරුපැදියේ නූල පැටලී තිබුණේ අනතුර සිදුවු ස්ථානයට එහායින් බවයි. එම අවස්ථාවේ තමන්ගේ දරුවන් දෙදෙනා පංති කරමින් සිටි බවත්, එක්වරම බෝම්බයක් පුපුරන හඬක් මෙන් ඇසුණු බවත් සිදුවීම ඇසින් දුටු කාන්තාව පවසා සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 23:54