May 16, 2024

ජනපති ලඟ ඉන්න කේවට්ටයා ආචාර්යවරයෙක්! වහාම තනතුරින් පහ කරන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉන්න ලොකුම කේවට්ටයා ආචාර්ය පී. බී.ජයසුන්දර මහතා බවත් ජනාධිපතිවරයා මේ ප්‍රපාතයට ඇදලා දැම්මේ ඔහු බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් උන්හන්සේ ප්‍රකාශ කර සිටියේ, ආචාර්ය පී. බී. ජයසුන්දර ලේකම් තනතුරෙන් ඉවත් කර ජනතා දුක හඳුනන පුද්ගලයෙකු එම තනතුරට පත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.

ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

පසුගිය 15 වනදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් සිදු කළා.

උන්වහන්සේ මෙසේද පැවසූවා,

”ඕනෑම කෙනෙක් ළඟ ඉන්නවා කේවට්ටයෝ කියලා පිරිසක්. පුරෝහිතයෝ කියලා පිරිසක් ඉන්නවා. මේ පුරෝහිතයෝ ඇවිල්ලා යමක් කිව්වොත් ඕවා තමයි ඇදගන්නේ. අද අපිට පේනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉන්න ලොකුම කේවට්ටයා තමයි ආචාර්ය පී. බී.ජයසුන්දර ජනාධිපතිවරයා මේ ප්‍රපාතයට ඇදලා දැම්මේ කවුරුවත් නෙමෙයි. ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්මයායි . ඔය ආචාර්ය මහාචාර්යවරු කියන අය ජනතාවගේ දුක දන්න අය නෙමෙයි. කැරකෙන පුටුව කැරකි කැරකි මුහුදු සුළං වැදි වැදී ඒගොල්ලො කටයුතු කරන්නේ. පී. බී. ජයසුන්දර මහත්තයා ඉවත් කරලා බලන්න ඉවත් කරලා බලලා මේක ගෙනියන්න පුළුවන් ලේකම් කෙනෙක් පත් කරගන්න”

ජනාධිපතිවරයාගේ ඇසට වැලි ගසා කිසියම් අයෙකු කටයුතු කරන්නේ නම්, එය එම පුද්ගලයාගේ වරද නොව රට පාලනය කරන බලධාරීන්ගේ දුර්වලකමක් බව ද ඉතාම කෙටි කාලයකින් ජනතා ප්‍රසාදය අහිමි වූ එකම ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බවද උන්වහන්සේ පැවසුවා.

ඉදිරියේදී දැඩි විරෝධයක් 

පී.බී. ජයසුන්දර මහතා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම්, ඊට එරෙහිව ජනතාව සමග එක්ව මහා සංඝරත්නය ඉදිරියේදී දැඩි විරෝධයක් සංවිධානය කරන බවට ද මුරුත්තෙට්ටුවේ හිමියන් අනතුරු අඟවනවා.

”අපි මේ රටේ මහා සංඝරත්නය පෙළගැසෙමින් පවතිනවා ජනතාවත් එක්ක, වහාම ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්තයා තනතුරෙන් පහ කරලා අනුන්ගේ දුක දන්න ගොවියගෙ දුක දන්න, ජනතාවගේ දුක දන්න පුද්ගලයෙක්, මේ තැනට පත් කරන්න” යැයි උන්වහන්සේ සඳහන් කළා.

ජනතා අදෝනා මධ්‍යයේ දේශපාලනඥයින්ට සැප වාහන ගෙන්වීමට කිසිවෙකු හෝ කටයුතු කරන්නෙ නම්, කාගේ හෝ අවසානයත් එතැන බව සියලු දනො තේරුම් ගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා.

”උදේ ඉඳන් රෑ වෙනකං කෑගහනව පාරට වෙලා කන්න නෑ. පොහොර නෑ. ඉන්න නෑ. කියලා. කැස්බෑවෝ ටික මේ නැවක් ගෙනල්ලා ගිල්ලලා අහිංසක සත්තු ටික මැරීගෙන එනවා. ඒවා ඔක්කොම මිනිස්සුන්ගෙ අඳෝනාව මධ්‍යයේ තමයි මේ වාහන ගේන්න කටයුතු කරන්නේ. ජනතාවට බර දීලා මේ ඇත්තන්ට සුඛෝපභෝගී ජීවිත ගත කරන්න, සැප වාහන අරන් දෙනවා නම් අපි කාගේ හෝ කමක් නෑ අවසානයත් එතැන කියන එක අපි කවුරුත් තේරුම් ගත යුතුයි” යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 02:26

Related items