April 27, 2024

රනිල් සහ මහින්දගේ රහස් හමුවක් ගැන අනාවරණයක්!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයේ පාර්ශවය සමග හොර රහසේ සාකච්ඡා පවත්වා ඇති බව  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අනාවරණය කළා.

රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු පවසා සිටියේ අමාත්‍යවරු කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවලට සම්බන්ධ බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ද ගොස් ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

"ඔබතුමා තමයි පාර්ලිමේන්තුවට එන්න ඕන" යැයි එම හමුවේ දී රාජපක්ෂ මහතා විසින් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව ද අබේසිංහ මහතා පවසා සිටියා.

මෙවන් පසුබිමක් මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඔහු සමග එක්වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන පුවත සමාජ ජාල ආදියේ පතුරුවා හරින්නේ ද ආණ්ඩුවේ පිරිස් බවට යි ඔහු පෙන්වා දෙන්නේ.

අශෝක් අබේසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, තමන් එක්සත් ජාතික පක්ෂය තුළ සිටි අයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ කඳවුර සමග "ඩීල් දැමූ" ආකාරය පිළිබඳ හොඳින්ම දන්නා බවයි.

වර්තමානයේ දී වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද නොවන පසුබිමක ඔහුට දී ඇති ආරක්ෂක භටයින් ප්‍රමාණය සියය ඉක්මවන බව ද අබේසිංහ මන්ත්‍රීවරයා අනාවරණය කළා.

තව ද මන්ත්‍රීවරයෙකු නොවන එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා හට ද ඉහළ ආරක්ෂාවක් ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවන් දෑ සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය සහ රාජපක්ෂ පාර්ශවය අතර සබඳතා පැවතීම නිසා බවටයි ඔහු ඉඟි පළ කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 June 2021 19:54