April 26, 2024

දයාසිරි - අමරවීර ශ්‍රීලනිපය තුළ සීතල යුද්ධයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර කැබිනට් අමාත්‍යවරයා සීතල යුද්ධයක් පවතින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහි ආසන්නම සිදුවීම වන්නේ බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිප නියෝජිත පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහතාට බැණ වැදුණු බවට අමරවීර මහතා ගෙන යන රාවයයි.

ඉකුත් සතියේදී ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප ප්‍රධානීන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා සමග අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහතාට බැණ වැදුන බව ශ්‍රීලනිපයේ අය තමා අමතා කියන බව පොදුජන පෙරමුණේ ප්‍රබලයකු දයාසිරි ජයසේකර මහතාට දුරකථන ඇමතුමක් ගෙන දැනුම් දී තිබේ.

ඊට සිනහවකින් පිළිතුරු දී තිබෙන ජයසේකර මහතා පසුව මේ ගැන සොයා බැලීමේදී දැනගන්නට ලැබී තිබෙන්නේ වීරකැටිය පැත්තෙ පක්ෂයේ ප්‍රබලයකු මෙම කතාව තැන තැන කියන බවය.

බැසිල් රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහතාට බැණ වැදුණා යැයි කියන සාකච්ඡාවට ශ්‍රීලනිපය වෙනුවෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයාද සහභාගි වී සිටි බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුවේ සිටියදීද දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ පාර්ශවය එවකට පැවති එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග දෙකකදීම අමරවීර මහතා නියෝජනය කළේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ වන විට දැඩි රාජපක්ෂවාදියෙකු ලෙස ශ්‍රීලනිපය තුළ පෙනී සිටිමින් ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ තුළම සිටිය යුතු බව යන මතය දරන අතර දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ බලපෑම් වලින් මිදී තනි පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වී නැගී සිටිය යුතුය යන මතයේ සිට කටයුතු කරන්නෙකි.

ඒ අනුව දෙදෙනා ශ්‍රීලනිපය පිළිබඳව දරන මතවාදවලද පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වේ.

තමාව ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සඳහා පක්ෂය ඇතුළේම කුමන්ත්‍රණයක් දියත් වන බව මීට ටික කලකට පෙර දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 01:26

Related items