May 19, 2024

ශ්‍රී ලංකාවේ ඔබට ලැබෙන කොරෝනා එන්නත ගැන දැනගත යුතු විශේෂ කරුණු මෙන්න Featured

අද (28) ශ්‍රි ලංකාවට ඉන්දියාවේ ප්‍රධානයක් ලෙස ලැබෙන කොවිශිල්ඩ් (ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා) එන්නත ලැබීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට අද ලෝකයේ මහා පරිමාණයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් පුද්ගලයින් දෙලක්ෂ පනස්දහසකට (250,000කට) ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ පහක් (500,000ක්) මෙරටට ගෙන ඒමට නියමිතව තිබේ.

මෙම එන්නත ගැන පුද්ගලයෙකු දැනුවත් විය යුතු සුවිශේෂ කරුණු කිහිපයක් පිළිබඳව කරාපිටිය මූලික රෝහලේ ස්නායු ඒකකයේ වෛද්‍ය රංගන චන්දිමාල් මහතා, මෙලෙස ශ්‍රී ලංකාවට ලැබෙන එන්නත පිළිබඳව ඇති දුර්මතයන් සහ අනිසි බිය වැනි දේවල්වලට ඔහු විසින් පිළිතුරු සපයා තිබුණේ මෙලෙසයි.

පසුගියදා ශ්‍රි ලංකාව තුල හදිසි අවස්ථාවකදි භාවිතය සදහා Oxford-AstraZeneca (ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා) එන්නතට අනුමැතිය ලබා දෙන ලදි.මෙම එන්නත එංගලන්තයේ ජාන ඉංජිනේරු විද්‍යාව ආශ්‍රිත පර්යේෂණ සිදු කරන Oxford Biomedica අායතනයත් ස්වීඩන සහ එංගලන්ත බහු ජාතික ඖෂධ නිෂ්පාදන සමාගමක් වන  AstraZeneca (ඇස්ට්‍රෙසෙනෙකා) සමාගමත් එකතුව නව්‍ය කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ සාර්ථක එන්නතකි.

ඉන්දියාවේ "අසල්වැසියන්ට ප්‍රමුඛත්වය" යන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රි ලංකාවද ඇතුලුව කලාපයේ රටවල් කිහිපයකට කෝවිඩ් වයිරසයට එරෙහි සටන ශක්තිමත් කිරීමට ඉන්දියාවේ නිපදවන Covishield (කොවිශීල්ඩ්) එන්නත ලබා දීමට තීරණය කර ඇත.

මේ Covishield (කොවිශීල්ඩ්) එන්නත යනු ඉන්දියාව තුල නිපදවන Oxford-AstraZeneca (ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා) එන්නතට ඉන්දියාව ලබා දී ඇති නාමයයි. එකිනෙකට වෙනස් නම් වලින් හැදින්වුවද Covishield (කොවිශීල්ඩ්) එන්නතේ සහ Oxford-AstraZeneca  (ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා) එන්නතේ ක්‍රියාකාරිත්වය සෑම අතින්ම එක සමානය.

ලෝකයේ එන්නත් අවශ්‍යතාවයෙන් 65% ක ප්‍රමාණයක් නිපදවන ඉන්දියාව තුල Covishield එන්නත නිපදවීමට අත ගසා ඇත්තේ ලොව ප්‍රමුඛතම එන්නත් නිපදවීමේ සමාගමක් වන  Serum Institute(Pvt) Lt සමාගමයි.

ඉන්දියාවට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවීමේ අරමුණ ඇතිව 1966 වසරේදි ඉන්දියවේ එන්නත් රජු ලෙසින් සැලකෙන සයිරස් පූනවල්ලා විසින් ආරම්භ කල මෙම සමාගම මේ වන විට ලොව වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් නිපදවන(වසරකට එන්නත් මාත්‍රා බිලියන 1.5ක්) සමාගම බවට පත්ව ඇත.

ගලපටලය,සරම්ප,කම්මුල්ගාය,රුබෙල්ලා,හෙපටයි⁣ටිස් වැනි රෝග වලට ලබා දෙන එන්නත් ඇතුලුව එන්නත් රැසක් Serum institute ආයතනය නිපදවන අතර ඒවා රටවල් 170 ක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම මත බෙදා හරියි.

ඉන්දියානු නිශ්පාදන වල ගුණාත්මක බව ගැන යම් කුකුසක් අප රටේ තිබුනත් මේ එන්නතේ ගුණාත්මකභාවය ගැන කිසිම සැකයක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන්නේ දැනට ලෝකයේ ඇති ඉහලම ඖෂධ නිපදවීමේ තාක්ෂණය උපකරණ සහ අමුද්‍රව්‍ය Serum Institute ආයතනය භාවිතා කරන බැවිනි..එසේම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරිය හෙවත් US FDA ආයතනයද Serum Institute හි නිපදවන එන්නත් වලට අනුමැතිය දී ඇත.

මේ එන්නත් දෙ⁣කටම නව්‍ය කොරෝනා වයිරසය හෙවත් SARS CoV-2 හි මතුපිට ආවරණයේ (Envelope) ඇති ප්‍රෝටීන-කාබෝහයිඩ්‍රේට කාණ්ඩ දෙකේ එකතුවෙන් සෑදුන  S (Spike) නම් ප්‍රෝටීනයට එරෙහිව ප්‍රතිදේහ අප ශරීරය තුල ජනනය කිරීමේ හැකියාව පවති.

මෙහිදි S ප්‍රෝටීනය නිපදවීමට අදාල ජානය තවත් වයිරසයක් තුලට ඇතුල් කරවා එම වයිරසය අඩංගු මිලිලීටර් 0.5 ක ද්‍රාවණය එන්නත් කිරිම සිදු කරයි.

මේ සදහා යොදා ගන්නා වයිරසය මිනිසා ඇතුලු ක්ෂිරපායි සත්වයන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හමුවන Adeno Virus නම් වයිරස කාණ්ඩයේ එක් ප්‍රභේදයකි.

යොදා ගන්නා  Adeno වයිරස ප්‍රභේදය මුලික වශයෙන් හමුවනුයේ චිම්පන්සින්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව වන අතර කිසිම ලෙසකින් මිනිසාට ආසාදනයක් ඇති නොකරයි. (මෙම එන්නතට කිසිම ආකාරයකින් චිම්පන්සින්ගේ සෛල ඇතුළත් කර නොමැත)

පලමු මාත්‍රාවෙන් සති 4ත් 12ත් අතර කාලයකදි දෙවන මාත්‍රාව ලබා ගත යුතු අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්,අසාත්මිකතා සහිත පුද්ගලයින්ට මෙම එන්නත ලබා දිමේදි සැලකිලිමත් විය යුතු බව සදහන්ය.

කොරෝනා වයිරසයට එරෙහිව 90% පමණ සාර්ථකත්වයක් පෙන්වා අැති මෙම එන්නත සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ එනම් 2°C - 8°C අතර ගබඩා කල හැකි වීමත් ඩොලර් 4ක වැනි මුදලකට ලබා ගත හැකි විමත් නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් වලට වඩාත්ම ගැලපෙන එන්නත ලෙස මෙය සැලකිය හැකිය.

ඉන්දියාව මෙම Covishield එන්නතට අමතරව ඔවුන්ගේම නිශ්පාදනයක් වන Covaxin නම් එන්නතද නිපදවිමද මේ වන විට ආරම්භ කර ඇති අතර එ් සදහා මූලිකත්වය ගෙන ඇත්තේ දැනට එන්නත් වර්ග 16 ක් නිපදවා රටවල් 123 පුරා බෙදා හරින Bharat Biotech නම් ඖෂධ සමාගමයි.

එන්නත් ලැබුනද මෙම ගෝලිය වසංගත තත්වය පහව යන තුරු අප හුරු පුරුදු කර ගත් සෞඛ්‍ය පුරුදු අමතක නොකර පිලිපැදිම අනිවාර්යයෙන්ම සිදු කල යුතු වන්නේ එම සෞඛ්‍ය පුරුදු කවර එන්නතකටත් වඩා ප්‍රතිඵලදායි බැවිනි.

සැබැඳි පුවත -

ශ්‍රී ලංකාවට ලැබෙන කොරෝනා එන්නත ‘කොවිශීල්ඩ් (ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා)’ මෙරට එන්නත් කරන්නේ මෙහෙමයි

Rate this item
(23 votes)
Last modified on Saturday, 30 January 2021 17:54