April 19, 2024

ශ්‍රී ලංකාවට ලැබෙන කොරෝනා එන්නත ‘කොවිශීල්ඩ් (ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා)’ මෙරට එන්නත් කරන්නේ මෙහෙමයි

අද (27) ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සදහා වන කාර්යයසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසා සිටියේ ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට(28) පෙරවරු 11.00 ට ලංකාවට ලැබෙන අතර අනිද්දා සිට එන්නත්කරණය අරඹන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට හෙට (28) ලෝකයේ මහා පරිමාණයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් පුද්ගලයින් දෙලක්ෂ පනස්දහසකට (250,000කට) ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ පහක් (500,000ක්) මෙරටට ගෙන ඒමට නියමිතය.

මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එය හදිසි ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීම සදහා අප රටෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්ද කොවිශීල්ඩ් හෙවත් ඔක්සවර්ඩ් - ඇස්ට්‍රෙසෙනෙකා එන්නත සඳහා අනුමැතිය හිමිවී ඇති බවද ලලිත් වීරතුංග මහතා මෙම විශේෂ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මෙම එන්නත හෙට (28) දිනයේ  අප රටට ලැබුණු විගස කටුනායක ගුවන්තොටුපොළේ සිට ශ්‍රීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති ශීතාගාර වෙත ලබාදෙන අතර මෙරට දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගබඩා පහසුකම් යටතේ ගබඩා කර තැබීමටද නියමිතව ඇත. මෙම එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක පවත්වා තබාගත යුතු අතර ඒ සදහා මෙරට සෞඛ්‍ය අංශවල පහසුකම්ද පවතී.

එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා කණ්ඩායම් පිළිබදව විශේෂ අවධානය ලබාදෙනු ලබන අතර, මෙහිදී ප්‍රධාන කොට්ඨාශ තුනක් පිළිබදව අවදානය යොමු කෙරෙනු ඇත. 

එහිදී පළමු පෙළ වශයෙන් කොවිඩ් මර්දනය සදහා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින්නේ මෙරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයයි. ඒ අනුව එක් ලක්ෂ පනස්දහසක් (150,000ක්) පමණ පිරිසක් ඒ යටතේ සිටියි.

දෙවන පෙළ ලෙස සිටින්නේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශවල සිටින එක් ලක්ෂ පළොස්දහසක් - එක් ලක්ෂ විසිදහසක් (115,000 – 120,000)ක පමණ පිරිසකි. මේ යටතට ගුවන් තොටුපොෙළවල සේවය කරන පිරිස්ද සිටියි.

ප්‍රමුඛතා ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව ඇත්තේ ලක්ෂ 34ක් පමණ වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සැලකෙන අතර මෙහිදී නිධන්ගත රෝග වලින් පෙළෙන්නන් හට යම් ප්‍රමුඛතාවයක් හිමිවෙයි.

ජනාධිපතිතුමන් චීන රජයෙන් සිදුකළ ඉල්ලීමක් අනූව ඉදිරියේදී චීනයේ නිපදවන සයිනො ෆාමා එන්නත ලක්ෂ 03ක ප්‍රමාණයක් ද ශ්‍රී ලංකාවට ප්‍රධානයක් වශයෙන් ලැබීමට නියමිතයි. එමෙන්ම රුසියාවෙන් කළ ඉල්ලීමක් අනුව රුසියාවේ නිපදවන ස්පුට්නික් එන්නතද නුදුරේදී අප රටට ප්‍රධානයක් වශයෙන් ලැබෙනු ඇත. මෙම එන්නත් දෙක සදහා දැනට පවත්නා දත්ත මත අධ්‍යයනයන් සිදුකර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අප රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ලබාගැනීමට නියමිතව ඇත.

කොවිඩ් මර්දනය සදහා වන එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලියටද රජයේ අවධානය යොමුවී ඇති අතර ජාතික ඖෂධ සංස්ථාව විසින් ඉදිරියේදී ඉන්දියාවේ සෙරම් ඉන්ස්ටිටියුට් වෙත එන්නත් මිලියන 2 -3 ක ප්‍රමාණයක් සදහා ඇණවුමක් ලබාදීමට නියමිතය.




Rate this item
(1 Vote)
Last modified on Friday, 12 March 2021 15:04