April 26, 2024

"කෝප් කමිටුවට SLIIT අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන්වන්න බැරි නම් ගෙදර යන්න" - කෝප් සභාපති අභියෝගයට පිළිතුරු දෙයි

මාළබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය(SLIIT) සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) විසින් සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාට ප්‍රශ්න රාශියක් එල්ල වී තිබේ.

පසුගිය දා මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට කමිටුවට දන්වා තිබුණේ සිය ආයතනය රජයට කිසිදු සම්බන්ධයක් නැති පෞද්ගලික ආයතනයක් බැවින් එය කෝප් කමිටුවේ විෂය පථයට අදාළ නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෝප් සභාපති චරිත හේරත් මහතා සඳහන් කොට තිබුණේ පසුගිය යහපාලන රජය සමයේ SLIIT ආයතනය කැබිනට් පත්‍රිකාවක් හරහා එවකට එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සාමාජිකයන් පිරිසට පවරා ඇති බවයි. එම ආයතනය කෝප් කමිටුව හමුවේ පෙනී නොසිටියේ එම කරුණ නිසා බව ද හේරත් මහතා සඳහන් කළේ ය.

මේ පිළිබඳව කෝප් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කළේ මාළබේ තොරතුරු තාක්ෂණ ආයතනය කෝප් කමිටුවට ගෙන්වා ගැනීමට අපොහොසත් වුවහොත් චරිත හේරත් මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. එමෙන් ම අදාළ කැබිනට් පත්‍රිකාවකින් SLIIT ආයතනයේ අයිතිය පුද්ගලයන් කිහිප දෙනෙකුට පවරා ඇතැයි පදනම් විරහිත ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයාට ඇඟ බේරා ගත නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

"පසුගිය ආණ්ඩුව සමයේ SLIIT ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මේ ආණ්ඩුවේ ප්‍රධානීන් ගේ ළඟම හිතවතෙක්. මෑතක දී ඔහුට ආණ්ඩුවෙන් ඉතා ප්‍රබල තනතුරකුත් දුන්නා. ඉතින් කෝප් සභාපතිවරයා මේ හදන්නේ ඉතාම සූක්ෂ්ම විදියට ප්‍රශ්නයෙන් පැන යන්නදැයි අපට සැකයක් තියනවා. කොහෙටද SLIIT ආයතනයේ ලාභය යන්නේ? කවුද ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නෙ? කෝප් සභාපතිවරයා ගේ වගකීම වෙන්නෙ යම් අක්‍රමිකතාවක් තියනවා නම් ඒ ගැන විමර්ශනය කිරීම මිසක් නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රශ්නවලින් පැන යාම නෙවෙයි" යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම හරහා රසික ජයකොඩි මහතාට පිළිතුරු දෙමින් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ ප්‍රශ්නවලින් පැන යාම තම ප්‍රතිපත්තිය නොවන බවයි. SLIIT ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී මතුවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් ක්‍රන බව කී මන්ත්‍රීවරයා ජයකොඩි මහතා මතු කොට තිබෙන සියලු ප්‍රශ්නවලට පිළිතුරු එම වාර්තාවේ ඇතුළත් කෙරෙනු ඇති බව ද සඳහන් කළේ ය.

අදාළ ප්‍රශ්නගත කාලයේ දී මාළබේ SLIIT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළේ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ය. ඔහු මෑතක දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා වශයෙන් ද පත් කරනු ලැබිණි.

Rate this item
(0 votes)

Related items