April 26, 2024

මේ මොහොතේ වැදගත්ම කාර්ය කොරෝනා එන්නත ගෙන්වීමයි

December 26, 2020

කොවිඩ් 19 පාලනය කිරීම සදහා තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාත්මක පසුබිමක සිට එය කළ යුතු බවත් වසංගතය භිෂණයක් කර නොගත යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වසංගත රෝගය පාලනය කිරීමේදී මනා ලෙස සැලසුම් කළ තාක්ෂණික තීන්දු තීරණ ගතයුතු බවත්, එය සැමවිටම ජනතා කේන්ද්‍රීය සහ ජනතා හිතවාදී ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ සදහා මාධ්‍යවල සහ ජනතාවගේ සහයෝගය ලබාගැනීම වැදගත්වන බවයි.

වත්මන් කොවිඩ් 19 පාලනයේ පවතින ගැටළු සහගත තැන්, වසංගත රෝගය පාලනයේ අනාගත දිශානතිය සහ ඉදිරි මාවත, වෛද්‍ය විශේෂඥයින් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහයෝගය ලබාදීම උපදෙස් ලබාදීම සිදුකල යුත්තේ කෙසේද යන්න මෙන්ම ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභීන්ගේ වැඩිහිටි සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවූ අතර මෙම කාලය තුළ වෛද්‍ය අධ්‍යාපනය, හෙද අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කම මෙහිදී වෛද්‍ය විශේෂඥයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකරන ලදි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් මෙරටට ගෙන්වීම පිළිබදව වෛද්‍ය විශේෂඥයින්ගේ මතය විමසූවිට ඔවුන් සදහන් කලේ මේ මොහොතේ කල යුතු වැදගත්ම කටයුත්ත එය බවයි. එබැවින් අනුමත කරන එන්නත ලබාගැනීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වන ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් මෙහිදී ඉල්ලීමක් කරන ලදි. ඒ හරහා ආර්ථිකය නැවත පණගැන්වීමේ අවස්ථාව උදාවන බවත් සංචාරක කර්මාන්තය සදහා සීමිතව අවස්ථාව ලබාදීම මේ මොහොතේ අගය කලයුතු බවයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් හෝ ඖෂධ පිලිබදව අමාත්‍යවරියගේ සෘජු අදහස් දැක්වීම අගය කරන බවත් මෙවන් අවස්ථාවක විශේෂඥ අදහස් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබදව සිය ස්තූතිය පුදකරන බව වෛද්‍ය විශේෂඥවරුන් විසින් අමාත්‍යවරිය වෙත දන්වන ලදි.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, අයිඩීඑච් රෝහළේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොළඹ ජාතික රෝහළේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ, ගම්පහ රජයේ රෝහළේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

Rate this item
(0 votes)