May 11, 2024

ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 4 ඉක්මවයි 

පසුගිය රජයේ 2015 අයවැයෙන් පෙන්වූ ඒක පුද්ගල ණය ප්‍රමාණය පැවැති අගයට වඩා වැඩි අගයක් ගන්නා බව නව රජය ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් පෙන්වා දී තිබේ.

2014 වර්ෂය අවසානයේ දී රජයේ ණය රුපියල් බිලියන 7,373කි. ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 357,233කි. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය ලේඛනයේන් පෙන්වා දෙන්නේ, පසුගිය සමයේ රජයේ ණය රුපියල් බිලියන 7373ක් නොව එය රුපියල් බිලියන 8,817ක් පමණ වන බවයි. ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය ද රුපියල් 427,220ක් දක්වා ඉහළ යන බව පවසයි. 

රජයේ සමස්ත ණය 2014 අවසානය වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.4ක් එදා පැවති රජය පෙන්නුවද එය සෑබෑ ලෙසම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 88.9ක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. 

රටේ ජාතික වර්ධනය ප්‍රකාශ කළ ද ජාතික ආදායමේ නාමික වර්ධනයෙන් රටේ පුරවැසියන්ගේ ජීවන මට්ටමේ වැඩි දියුණුවීම නිරූපණය නොවන බව පෙන්වා දෙන මුදල් අමාත්‍යවරයා, රටේ සාමාන්‍ය පුරවැසිය දෙස බලා ඔවුන් තුළ ඒක පුද්ගල ආදායමේ සංඛ්‍යාවලින් පෙන්වන සෞභාග්‍යතා මට්ටම තිබේ ද යන්න නිරීක්ෂණය කළ හැකි යැයි පැවසීය. 

අතුරු අයවැය මගින් පෙන්වා දී ඇති පරිදි සමස්ත ණය හා ඒක පුද්ගල ණය ප්‍රමාණය, රාජ්‍ය ණය වසර 2012 වසරේ රුපියල් බිලියන 6000ක් 2013 වසරේ රුපියල් බිලියන 6793ක්, 2014 වසරේ රුපියල් බිලියන 7373ක්. ඒක පුද්ගල ණය 2012 වසරේ රුපියල් 295165ක්, 2013 වසරේ රුපියල් 331653ක්,2014 වසරේ 427220ක්.

2015 අයවැය මගින් රජයේ සමස්ත ආදායම වශයෙන් රුපියල් බිලියන 1594ක් අපේක්ෂා කර ඇත. මින් රුපියල් බිලියන 1400ක් බදු ආදායම වශයෙන් ද රුපියල් බිලියන 194ක් බදු නොවන ආදායම් වශයෙන් ද ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඇස්තමේන්තු කොට ඇති පරිදි 2015 අයවැය හිඟය රුපියල් බිලියන 521ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.6කි.

එමෙන් ම යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගෙන ඇති විදේශ ණය ද රජයේ අයවැය හිඟය තුළ නිරූපණය නොවන බවත් 2004 වර්ෂය අවසාන වන විට ගෙවීමට ඉතිරිව ඇති ණය අමෙරිකානු ඩොලර් මිලියන 2356ක් එනම් රුපියල් බිලියන 308ක් බවත් මෙම ණය පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ව්‍යාපෘතිය සඳහා ලබාගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

භාණ්ඩාගාර ඇපකර වටිනාකම්, රාජ්‍ය ව්‍යාපාර මගින් බැංකු පද්ධතිය ලබාගෙන ඇති ණය සහ රාජ්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා ලබාගෙන ඇති විදේශ ණය එකතු කොට ගණන් බැලුව හොත් අයවැය හිඟය දැනට ප්‍රසිද්ධ කර ඇති සංඛ්‍යාවට වඩා විශාල අගයක් බවද අයවැය වාර්තාවේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 January 2015 11:24