May 04, 2024

යෝෂිත ගැන සෙවීමට නාවික හමුදාවෙන් කමිටුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට බඳවා ගත් අයුරු සොයා බැලීමට නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා විසින් කමිටුවක්‌ පත් කර තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්‌ඩායමකින් යුත් කමිටුවක්‌ මගින් එම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසු නාවික හමුදා නීතියට පටහැනිව ඒ මහතා කටයුතු කර ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා වෙත පැමිණිල්ලක්‌ ලැබී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ආරක්‍ෂක ලේකම්වරයා විසින් නාවික හමුදාපතිවරයා වෙත විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුකරන ලෙස දැනුම් දී තිබෙන බවත් වාර්තා වේ.

යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවෙන් ඉවත් කරන ලෙස නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබෙන අතර එයට අනුමැතිය හිමි වී නැතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසු ඔහුට හිමි වූ නිලතල, විදෙස්‌ පුහුණුව සහ නාවික හමුදාවේ සිටිමින් දේශපාලනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකෙරේ.

Rate this item
(0 votes)