May 04, 2024

සහන ගෙනෙන නව රජයේ අතුරු අයවැය අදයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජයේ අතුරු අයවැය අද (29) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අතුරු අයවැය මුදල් අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදුකරනු ලබන ප‍්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය. අතුරු අයවැයෙන් සහන රැසක් මෙන්ම රටේ වත්මන් ආර්ථිකය පිළිබඳව ද මුදල් අමාත්‍යවරයා විසින් විවරණයක් සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම අතුරු අයවැය පිළිබද පාර්ලිමේන්තු විවාදය ලබන මස 5 සහ 6 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

ජනතාවගේ ජීවන බර අඩු කිරීම මෙම අතුරු අයවැයෙන් සිදුවනු ඇති බව වාර්තා වේ. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම, මාසික සමෘද්ධි දීමනාව උපරිම වශයෙන් දෙගුණයකින් වැඩි කර ජන සවිය වැඩසටහනට අනුරූප වන ලෙස සැකසීම, රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමට නියමිත අතර එහි පළමු කොටස ලෙස රුපියල් 5000ක් පෙබරවාරි මාසයේ සිට ගෙවීමට කටයුතු කිරීම, විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට රුපියල් 3500ක මාසික අන්තර් දීමනාවක් ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල පළමු ලක්ෂ 10 සදහා ගෙවන පොලිය 15% දක්වා ඉහළ දැමීම, ආර්ථික අඟහිඟකම්වලින් පෙළෙන දුප්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රුපියල් 1500කින් වැඩිකිරීම ඇතුළු සහන රැසක් අතුරු අයවැයට ඇතුළත් බව රජයේ ආරංචි මාර්ග පවසයි. 

මේ අතර පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළ නැංවීමට ඉවහල් වන පසුබිමක් නිර්මාණය කිරීම සිය අරමුණ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසී ය.

Rate this item
(0 votes)