May 03, 2024

අගවිනිසුරු ඉවත් කිරීම හා පත් කිරීම පිළිබඳ රජයෙන් පැහැදිළි කිරීමක්

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කර ඒ වෙනුවට මොහාන් පීරිස් මහතා පත් කළ බව කියන ක්‍රියා මාර්ගය නීතියට අනුව අවලංගු සහ බලශුන්‍ය ක්‍රියාවක් බව රජය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදයකින් පැහැදිළි කර තිබේ.
ඒ අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි වන පරිදි විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලද අතර එහි තීරණ‍ය වූයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් චෝදනා ඇති බවය.
එම විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව 2013 ජනවාරී 8 වැනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.අනතුරුව තේරීම්කාරක සභාව වාර්තාව 2013 ජනවාරී 10 සහ 11 දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කර අවසානයේ යෝජනාවක් සම්මත කරන ලදී.
එහෙත් එම සම්මත වූ යෝජනාවේ සඳහන් වූයේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පමණි.මේ බව කතානායකවරයා විසින් එවකට ජනාධිපතිවරයාට යවන ලද 2013-01-11 දිනැති ලිපියෙන් පැහැදිළි වෙන බවත් සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107/2 වගන්තිය ප්‍රකාර අගවිනිසුරුවරිය ඉවත් කරන ලෙස ඉල්ලීමක් සම්මත වී නොතිබුණ ද එවකට සිටි ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කර ඒ වෙනුවට මොහාන් පීරිස් මහතා පත්කරන ලදී.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීමට පූර්ව කොන්දේසියක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107/2 වගන්තිය ප්‍රකාරව එසේ ඉවත් කරන ලෙස ඉල්ලූ යෝජනා සම්මතයක් නොමැති බැවින් කළා යැයි කියන ඉවත් කිරීම සහ කළා යැයි කියන පත්කිරීම මුල සිටම නීතිය අනූව අවලංගු සහ බලශූන්‍ය ක්‍රියාවක් බව රජයේ මතය බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.

Rate this item
(0 votes)