May 03, 2024

නාගරික සංවර්ධන අධිකාරියට විශේෂ මෙහෙයුමක් - නියෝජ්‍ය ඇමති 

නගරාලංකාරය නමින් කොළඹ සහ සෙසු නගරවල පසුගිය පාලන සමයේ සිදුකල විවිධ ඇස්බැන්දුම්වලට මුවා වී අපමණ මුදල් නාස්තියක් සහ දූෂණ වංචා රැසක් සිදුව ඇති බව මේවන විට හෙළිදරව් වී ඇතැයි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි. 

නියෝජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව එම අමාත්‍යාංශය යටතේ විවිධ මට්ටමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සමග පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව අදහස් දක්වමින් ඊයේ (28) නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ ය. 

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ ඇතුළු තදාසන්න නගර සංවර්ධනයට මුවා වී පසුගිය සමයේ සිදු වී ඇති මුදල් වංචා, දූෂණ, නාස්තිය සහ අවිචාරවත් කි‍්‍රයා පිළිවෙත් ඇදහිය නොහැකි තරම් වන බවත් ඒ හරහා සිදුවී ඇති මහජන මුදල් ගසා කෑම පිළිබඳව විධිමත් විගණනයක් සිදුකිරීමට කටයුතු කරන බවත්ය. 

විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය කාලය පුරා යුධ හමුදා පන්නයේ පාලනයකට නතුව තිබුණ බව කී ගන්කන්ද මහතා එම අධිකාරිය දැඩි පීඩනයකට පත් කළ මිලිටරි පන්නයේ පාලනයෙන් මිදී යළි සිවිල් පරිපාලනයක් එම අධිකාරියට හඳුන්වාදීම තම අමත්‍යවරායගේ මෙන්ම තමාගේ ද අභිප‍්‍රාය බවද පැවසී ය. 

තමා සිය අමාත්‍ය කාර්යාලයට පැමිණි දා පටන් නාගරික සංවර්ධන අධිකාරියේ විවිධ තරාතිරම්වල සේවකයින් සහ නිලධාරීන් අඛණ්ඩව පැමිණ හෙළිදරව් කළේ ඔවුන් පැවැති මිලිටරි පන්නයේ පාලනය නිසා මහත් මානසික පීඩනයකට පත්ව සිටි බව හෙතෙම සඳහන් කළේය. 

නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන සහ ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා කි‍්‍රයාත්මක වූ පසුගිය කාලය තුළ එම අධිකාරියේ සියළු කටයුතු හමුදා පසුබිමකින් යුතුව සිදුව ඇති අතර බහුතරයක් සේවකයින් සහ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ දැඩි ආඥාදායක පාලනයක් යටතේ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)