May 04, 2024

අද පත්වූ ශිරාණි - හෙට ඉල්ලා අස්වෙයි

අගවිනිසුරුවරිය ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හෙට (29) නිල වශයෙන් වැඩ බාර ගැනීමෙන් අනතුරුව එදිනම එම තනතුරින් විශ්‍රාම යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව හෙට (29) නව අගවිනිසුරුවරයා ලෙස කේ.ශ්‍රී පවන් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (28) නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ එක් දිනක් සඳහා වැඩ බාර ගනු ලැබීය. 

ඉන් අනතුරුව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හෙට නිල වශයෙන් සිය ධුරයෙන් විශ්‍රාම ගනු ඇත. ඉන් පසු ඇයට අහිමිවූ විශ්‍රාම වැටුප හා වරප්‍රසාද නැවත හිමි වන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.

පසුගිය රජය ඇයව දෝශාභියෝගයකින් ඉවත් කරනු ලැබූ අතර මෙය නීතිවිරෝධී බවත් 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා පත්කිරීමද නීති විරෝධී බවත් ස්වාධීන අධිකරණයක් සඳහා අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමුකර ඇති බව නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ. සී. වැලිඅමුණ මහතා පැවසී ය. 

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට ඉවත් වන ලෙස අණ කිරීමේ නීතිමය හැකියාවක් ජනාධිපතිවරයාට තිබේද යන්න සොයා බලන බවයි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් නිල වශයෙන් හෙට ඉවත් වීමෙන් අනතුරුව හෙට දිනයේම නව අගවිනිසුරුවරයා ලෙස කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට රජය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකාවේ හත්වැනි ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී දිවුරුම් දුන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ශ‍්‍රී පවන් මහතා ඉදිරියේදීය. 

 

Rate this item
(0 votes)