May 04, 2024

ඡන්ද වැඩ නිසා ලංගමට ලක්ෂ 1425ක් ලබාදිය යුතුයි

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතුවලට ජනතාව ගෙන්වා ගැනීමට ශ්‍රී ලංගම බස් රථ යොදාගැනීම වෙනුවෙන් ලංගමයට තවත් රුපියල් ලක්ෂ 1425 ක් ලබාදිය යුතුව තිබෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ලංගම බස් රථ යොදාගැනීම නිසා ශ්‍රී ලංගමයට රුපියල් ලක්ෂ 1925 ක් ලබාදිය යුතු බවත්, එම මුදල්වලින් මෙතෙක් ලබා දී තිබෙන්නේ රුපියල් ලක්ෂ 500 ක් පමණක් බවත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 500 ක මුදලින් රුපියල් ලක්ෂ 250 ක් ලබාදී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් යන තනතුරු සඳහන් කරමින් බවත්, ඉතිරි රුපියල් ලක්ෂ 250 ගාමිණී සෙනරත්, අරලිගහ මන්දිරය නමින් මුදල් බැරකර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තවත් රුපියල් ලක්ෂ 1425 ක් ලැබිය යුතුව තිබෙන නිසා එම මුදල් ලබාදෙන ලෙසට මුල් අවස්ථාවේදී රුපියල් ලක්ෂ 250 බැගින් ලබාදී තිබෙන දෙදෙනාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට ලිපි මගින් දන්වා යැවූ බවද අමාත්‍යවරයා පැවසී ය.

ඊට ප්‍රතිචාර නොලැබුණහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන හෝ රජයට අයත් මුදල් ලබාගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. 

 

Rate this item
(0 votes)