May 03, 2024

'චක්‍ර ලේඛවලින් පිට වැඩ බැහැ' - අධ්‍යාපන ඇමති 

අධ්‍යාපන ක්ෂේත්‍ර යේ තීන්දු තීරණ ගන්නා විට පසුගිය වකවානුවේ දී බොහෝ නිලධාරීන් චක්‍ර ලේඛ උපදෙස් නොතකා හැර, මුදල් රෙගුලාසිවලට පරිබාහිරව ගැටලුසහගත අන්දමින් ක්‍රියාකර ඇති බවත් මින් ඉදිරියට කිසිවෙකුටත් එසේ කටයුතු කිරීමට ඉඩ නොතබන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) සියලු ම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් එම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 

එමෙන් ම ඉදිරි අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන්කෙරෙන තුරු පාසල්වලට මුදල් එකතුකිරීම සිදු කළ හැක්කේ රේඛීය අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව බවත් අත්‍යවශ්‍යම හේතුවකට මිස මුදල් එකතුකිරීම කළ නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිවැරදි තීරණ වඩාත් සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට මේ රටේ ගුරුවරු, දෙමාපියන්, දරුවන්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයන්, විද්වතුන් ඇතුළු සියලු දෙනාගේ සහාය වැදගත් බවත් ළමුන් ඇතුළත් කිරීම ආදියේ දී විදුහල්පතිවරුන් තම වෘත්තීය ගරුත්වය හෑල්ලුවට ලක්වීමට ඉඩ නොදිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

මේ වන විට  8000කට ආසන්න පාසල්වල ගුරු අතිරික්තයක් පවතින බවත් එහෙත් ඇතැම් විෂයන් සඳහා ගුරු හිඟයක් පවතින බැවින් ඉදිරියේ දී  නිසියාකාරව ගුරු තුලනය ඇතිවන ආකාරයට කටයුතු කරන බවත් අවිධිමත් ගුරුමාරු හේතුවෙන් ගුරුවරුන්ගේ පවුල් සංස්ථාව විනාශවීමට ඉඩ නොතබා ගුරුමාරු මණ්ඩල විධිවිධාන නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

මේ අතර ඉදිරියේ දී එක් එක් විෂයන්ට අදාළ ව පවතින ගුරු හිඟය පියවිය හැකි පරිදි නව විද්‍යාපීඨ ඉදිකිරීමට ද පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)