May 13, 2024

ජැක්සන්ගේ නිවස පොලිස් පරීක්ෂාවට

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වාහනයක් සඟවාගෙන ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ කඩවත ප්‍රදේශයේ නිවස පරික්ෂා කළ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ එම නිවස පරීක්ෂා කිරීමේදී ආවරණය කර තිබූ අංක තහඩු රහිත මයික්‍රෝ වර්ගයේ ජීප් රථයක් සොයා ගැනීමට හැකිවී බවත් එය වාහන නිෂ්පාදන සමාගමක් විසින් ජැක්සන් ඇන්තනි මහතාට ත්‍යාගයක් ලෙස පිරිනැමුවක් බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත්ය.

ජැක්සන් ඇන්තනි මහතා විසින් මෙහෙයවූ 'මහා සංචාරය' නැමැති රූපවාහිනි වැඩසටහනේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මයික්‍රෝ සමාගම විසින් එම ජීප් රථය පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති බව විමර්ශණවලදී හෙළි වූ බවත් ඒ සඳහා මයික්‍රෝ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ප්‍රකාශයක් ලබාද ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

එම ප්‍රකාශය ලබා දෙමින් මයික්‍රෝ සමාගමේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ මයික්‍රෝ වර්ගයේ ජීප් රථයක් ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතාට ත්‍යාගයක් ලෙස ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනි මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය විසින් පොලිසිය වෙත ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දී ඇති බවත් සෝදිසි කරන අවස්ථාවේ එම ජීප් රථයට අදාළව කිසිම ලියැවිල්ලක් ඔවුන් සතුව තිබී නැති බවත් වාර්තා වේ.

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ කඩවත පහළ කරගහමුණ ප්‍රදේශයේ වනිගසූරියවත්තේ පිහිටි මෙම නිවස කඩවත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 25 වනදා රාත්‍රියේදී පරික්ෂාවට ලක්කොට ඇත. 

 

Rate this item
(0 votes)