May 04, 2024

නිදහස් පක්ෂයේ නිසා 'කුඩු ලාල්ට' ඇමති ආරක්ෂකයන් දෙදෙනෙක්

ලාල් පීරිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ලාල් පීරිස් මේවන විට සිටින්නේ එංගලන්තයේය.ඔහු එහි සිට ලංකාවේ මාධ්‍යවේදියකු සමග කළ කතාබහක් ඇසුරින් මෙය සැකසේ. අද අප ඔබට ගෙනෙන්නේ එහි දෙවන කොටසයි.
 
ඔබ ඡන්දෙත් ඉල්ලුවා නේද?
2006 වසරේදී ඉටිපන්දම් ලකුණින් ස්වාධීනව තරග කරල මම කොළඹ මහ නගර සභාවට තේරුණා. ඡන්ද 12000 කට වැඩිය ගත්තා. මම එම ඡන්ද සටන කරගෙන ගියේ එංගලන්තේ ඉඳන් ටෙලි ෆොන් එකෙන්. ඒ පාර එක්සත් ජාතික පක්යේ නාම යෝජනා ප්‍රතික්‍ෂේප වෙච්ච නිසා එයාල සහය දුන්නේ කණ්ණාඩියෙන් ඉල්ලපු කණ්ඩායමට. දිනුවේ ඒ අය. 2006 වසරේදී ඒ අයව ජනාධිපතිතුමා ළඟට ගෙනිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරන් දුන්නේ මමයි. එදා මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තා. අරලිය ගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතින්මයි සාමාජිකත්වය ගත්තේ.
2009 වසරේදී ශ්‍රී ලංකා එකෙන් පළාත් සභා ඡන්දෙ ඉල්ලන්න මගේ බලා‍පොරොත්තුවක් තිබුණා. මට චිට් එක දෙනව කියලත් තිබුණා. ඒ නිසා මම නාමයෝජනා දෙන්න ඉස්සරින්ම ‍පෝස්ටර් ගැහුවා. දුමින්ද මන්ත්‍රීතුමත් පළාත් සභාවට ඉල්ලන නිසා එයත් කල්තියා ‍පෝස්ටර්  ගහන්න ගත්තා. අපි දෙපාර්ශ්වය අතර ‍පෝස්ටර් ගහන්න ගිහින් ප්‍රශ්න ඇති වුණා. අන්තිමට ජනාධිපතිතුමා කිව්වා “මේ පාර ලාල් ඉන්න දුමින්දට උදව් කරන්න” කියල. ඒත් මම දුමින්දට වැඩ කළේ නැහැ. මම නිහඬව හිටියා.
 
එතකොට රට පනින්නෙත් 2009 අවුරුද්දේ නේද?
ඔව්. ඡන්දෙන් පස්සේ මට තොරතුරු ලැබෙන්න ගත්තා මාවයි මගේ බිස්නස්වලට සහය දෙන මගේ ‍ලේකම් තිස්සවයි මරන්න හදනව කියල. දේශපාලන උවමනාවක් මතයි මේ දේවල් වෙන්නේ කියලත් තොරතුරු ලැබුණා. ඒත් මම ඒවා ඒ තරම් විශ්වාස කළේ නැහැ. ඔය අතරේ තමයි ආමි එකේ මම දන්න මහත්තයෙක් 2009 ජූලි 25 වෙනිදා මට කිව්වා “ඔයා ලංකාවෙ ඉන්න එපා. අද හෙටම ඔයාව මරන්න යන්නේ” කියල. ඒ ආමි එකේ මහත්තයා බුද්ධි අංශයේ වැඩ කරපු ඉහළ නිලධාරියෙක්. කොළඹ ලොජ්වලට එන දෙමළ අය ගැන මම එයාට හොයල තොරතුරු දීල තිබුණා. ඒ නිසා මට තියෙන හිතවත්කමටයි ඔහු මට ලංකාවේ ඉන්න එපා කියල අනතුරු ඇඟෙව්වේ.
ඒ වෙනකොට මට එම්.එස්.ඩී. එකේ දෙන්නෙක් ගාඩ් එකට දීල තිබුණා. මට ‍පොලිස් ගාඩ් එකක් ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තු දා ඉඳලයි.  හමුදාවේ මහත්තයා කිව්වා “ගාඩ් තිබුණට වැඩක් නැහැ. ඒ අය ඔයාව මරනව” කියල.  ඒකට ඉහළින් අනුමැතිය  ලැබිල කියලත් කිව්වා. දේශපාලනඥයෙකුගේ උවමනාවකට මේ දේ සිදුවන බවත් කිව්වා. ඒ නිසා ඇති වෙච්ච බයට මම මර්වින් සිල්වා ඇමැතිතුමාට ඒ ගැන කිව්වා. 
මර්වින් ඇමැතිතුමා ඒ වෙලාවේ මට කිව්වා “ඔය කවුරුවත් මට විශ්වාස කරන්න බැහැ. ජනාධිපතිතුමන් විතරයි විශ්වාස. ඒ නිසා උඔ කැමති දෙයක් කරපන්” කියල.  ඒ අනුව තමයි මම රටින් යන්න තීරණය කළේ. 25 වෙනිදා රෑම මම රට ගමන සූදානම් කරගෙන මර්වින් ඇමැතිතුමාට කතා කරල කිව්වා. 26 වෙනිදා පාන්දර ජාමේ මම හිටපු තැනට ඇමැතිතුමා ඇවිත් ආරක්ෂාකාරීව මාව එයා‍පෝට් එකට එක්කරගෙන ගියා.
 
එයා‍පෝට් එකට ඇතුළුවුණේ වී.අයි.පී. ගේට්ටුවෙන්ද?
මර්වින් සිල්වා ඇමැතිතුමා එයා‍පෝට් එකට මාව එක්කරගෙන ගියේ මගේ ආරක්ෂාවටයි. මම එයා‍පෝට් එක ඇතුළට ගියේ සාමාන්‍ය මගීන් යන විදිහටයි. වී.අයි.පී. ගේට්ටුවෙන් ගියා කියන එක බොරුවක්. මම එංගලන්තයට ඇවිත් මාසයක් යන්නත් පෙර මගේ ‍ලේකම් තිස්සව සුදු වෑන් එකෙන් පැහැරගෙන ගිහින් හොඳටම දසවධ දීලා වෙඩි තියල මරල දාල තිබ්බා. 
2010 ජනාධිපතිවරණයේදි මට පණිවුඩයක් එවල තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කරන්න එන්න කියල. ඒත් මම ලංකාවට ආවේ නැහැ. “ලාල් පදනම” කියල මට සංවිධානයක් තිබෙනව. එකේ තරුණ තරුණියන් 8000ක් සාමාජිකත්වය අරගෙන තිබෙනව. ඒ අයගේ සහය එවර මම ලබාදුන්නේ ජෙනරාල්ට. ඒත් එයා පැරදුනාම නැවත මම ලංකාවට එන එක අතහැරල දැම්මා.
 
(හෙට-ලාල් රනිල් සහ රවී හමුවේ) 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 14:43