May 02, 2024

ජනාධිපතිවරණ දින රාත්‍රි කුමන්ත්‍රණයක් ගැන 7ගෙන් ප්‍රශ්න කරයි

ජනාධිපතිවරණ දින රාත්‍රී සිදු වූ බව කියන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, නීතිපති උපදෙස් අනුව එලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ය.

ජනාධිපතිවරණය දා රාත්‍රියේ අරලියගහ මන්දිරය තුළදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

මෙම පිරිස අතර අගවිනිසුරු මොහාන් පීරිස්, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක්ද සිටින බව වාර්තා වේ. 

මීට අමතරව ඉදිරියේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවද වාර්තාවේ. 

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවේ. 

අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ විධායක සභා රැස්වීමේදී ඉල්ලීමක් කර තිබුණද මෙතෙක් එවැනි පත්කිරීමක් සිදුකර නොමැත.

 

Rate this item
(0 votes)