May 03, 2024

ලිට්‌රෝ‌ ගනුදෙනුවෙන් රජයට කෝටි 70ක පාඩුවක්‌ 

රජයට අයත් ලිට්‌රෝ ගෑස්‌ සමාගම තුළ පසුගිය රජය සමයේ සිදුව ඇති දූෂිත ගනුදෙනුවක්‌ හේතුවෙන් රජයට රුපියල් කෝටි 70 කට අධික අති විශාල පාඩුවක්‌ සිදුව ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සමාගමේ සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වෙමින් පැවතියද එයට පරිබාහිරව එල් පී ගෑස්‌ මිලදී ගැනීම සඳහා එළැඹෙන ලද වෙනත් ගිවිසුමක්‌ හරහා මේ අති විශාල අලාභය සිදුව ඇතැයි එම සමාගමේ සේවකයන්ගේ ආරංචි මාර්ගයෙන් දැනගන්නට තිබේ.

ලිට්‌රෝ සමාගමට විදේශිකයන්ගෙන් එල් පී ගෑස්‌ මිලදී ගැනීමේදී නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙන් තොරව වැඩි මිලට එල් පී ගෑස්‌ මිලදී ගැනීමට ඇති කරගත් මෙම ගිවිසුම, ලිට්‌රෝ සමාගමේ ඉහළම නිලධාරියකුගේ අවශ්‍යතාව මත සහ එම සමාගමේ තවත් ඉහළ නිලධාරීන්ගේ ද සහාය ඇතිව එළැඹ තිබෙන බව ද වාර්තා වේ.

සමාගම ක්‍රියාත්මක කළ ටෙන්ඩර් ක්‍රියාවලියේ දී තවත් සමාගමක්‌ එල් පී ගෑස්‌ මෙට්‍රික්‌ ටොන් එකක්‌ අමෙරිකානු ඩොලර් 120 ටත් වඩා අඩු මිලකට (සවුදි මාසික කොන්ත්‍රාත් මිලට අමතරව) සැපයීමට කැමැත්ත පළ කර තිබියදී ඉන් පරිබාහිරව වසර දෙකක කාලයකට වැඩි මිලට එල් පී ගෑස්‌ සපයා ගැනීම සඳහා 2013 මැයි 10 දින ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් නම් සමාගම සමඟ මෙම ගිවිසුම ඇති කර ගෙන තිබේ.

මෙම ගිවිසුමට අනුව වසර දෙකක කාලයක්‌ සඳහා පළමු වසරේ දී එල් පී ගෑස්‌ මෙට්‍රික්‌ ටොන් එකක්‌ අමෙරිකානු ඩොලර් 135 කට සහ දෙවන වසරේ දී එල්. පී ගෑස්‌ මෙට්‍රික්‌ ටොන් එකක්‌ අමෙරිකානු ඩොලර් 140 කට මිලදී ගැනීමට අදාළ සමාගමත් සමඟ ගිවිසගෙන තිබේ. මේ අනුව එල් පී ගෑස්‌ මෙට්‍රික්‌ ටොන් එකකට සාමාන්‍ය වශයෙන් අමෙරිකානු ඩොලර් 17.5 ක පමණ වැඩි මිලක්‌ ගෙවීම හරහා අදාළ වසර දෙකක කාලයේදී මිල දී ගනු ලබන එල් පී ගෑස්‌ මෙට්‍රික්‌ ටොන් 320,000 වෙනුවෙන් මෙසේ රු. දශලක්‍ෂ 700 කට අධික මූල්‍ය අලාබයක්‌ රජයට සිදුවන බව ද එම ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

2013 වසරේ ආරම්භ කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී එල් පී ගෑස්‌ සැපයීමට ෂෙල් ගෑස්‌ සමාගමට අනුබද්ධ වෙළෙඳ සමාගමක්‌ කැමැත්ත පළකර තිබූ අතර, එම සමාගමේ නිලධාරීන් 2013 වසරේ අප්‍රේල් මාසයේදී ලිට්‌රෝ සමාගමේ ඉහළ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී එවකට පැවැති වෙළෙඳපොළ වාතාවරණය අනුව එල්. පී. ගෑස්‌ මෙට්‍රික්‌ ටොන් එකක්‌ අමෙරිකානු ඩොලර් 120 කටත් වඩා අඩු තරගකාරී මිලකට සැපයීමට එකඟතාව පළ කරනු ලැබ තිබූ බව ද වාර්තා වේ. මේ සාකච්ඡාවට ලිට්‌රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සහ අලෙවි සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරුන් සහභාගි වී තිබේ.

මෙසේ අඩු මිලට එල් පී ගෑස්‌ සපයා ගැනීමට හොඳටම හැකියාව තිබියදී එම ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව වැඩි මිලට එල් පී ගෑස්‌ සපයා ගැනීමට ඇති කරගත් දූෂිත ගිවිසුම හරහා රජයට සිදුව ඇති අති විශාල පාඩුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකර ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලිට්‌රෝ සමාගමේ සේවක පිරිස්‌ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටිති.

මෙම ගිවිසුම හරහා වැඩි මිලට එල්. පී. ගෑස්‌ මිලදී ගනිමින් සිටියදීම තවත් පාර්ශ්වයකින් වරින් වර එල් පී ගෑස්‌ හදිසි මිලදී ගැනීම් සිදුකර ඇති බව ද එම මිලදී ගැනීම්වලදී ද එල් පී ගෑස්‌ මිල දී ගෙන තිබෙන්නේ ප්‍රශ්නගත ගිවිසුම් හරහා එල් පී ගෑස්‌ මිලදී ගන්නා මිලටම වීම ද පුදුමය දනවන කරුණක්‌ බව සමාගමේ සේවක පිරිස්‌ පවසති. ඊට හේතුව සාමාන්‍යයෙන් වෙළෙඳපොළෙන් එල් පී ගෑස්‌ හදිසි මිලදී ගැනීම් කිරීමේදී වැඩි මිලක්‌ ගෙවීමට සිදුවීමයි.

මේ නිසා ටෙන්ඩර් ක්‍රියාවලියට පරිබාහිරව එළැඹෙන ලද ගිවිසුමේ මුදලට ම හදිසි මිලදී ගැනීම් කිරීමෙන් ද එම ගිවිසුමෙන් එකඟ වී ඇති මිල ගණන් අධික බව පැහැදිලි වන බව ද ඔවුහු පවසති.

මේ අතර රජය වෙනස්‌ වී නව රජයක්‌ යටතේ වංචා හා දූෂණ පිටු දැකීමට දැඩි පියවර ගනිමින් තිබියදී ද ලබන මස මුලදී තවත් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවක්‌ කිරීමට, අදාළ දූෂිත නිලධාරීන් සූදානම් වන බව ද දැනගන්නට ඇත.

මෙම දූෂිත ගනුදෙනුවලට සමාගමේ මිලදී ගැනීම් අංශයේ මුදල් අංශයේ සහ මානව සම්පත් අංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සහාය ද ලැබී ඇතැයි පැවැසේ. මේ අතර මෙම දූෂිත ගනුදෙනුවලට විරුද්ධ නිලධාරීන්ට අදාළ දූෂිත නිලධාරීන්ගෙන් නොයෙකුත් තර්ජන හා බලපෑම් සිදුව ඇතැයි ද දැනගන්නට ඇත.

ලිට්‌රෝ සමාගමේ මෙම දූෂිත ගනුදෙනු සහ ක්‍රියාකාරකම් රැසක්‌ පිළිබඳව සඳහන් සවිස්‌තරාත්මක ලිපියක්‌ එම සමාගමේ සේවකයන් විසින් දැනටමත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ද භාර දී තිබේ.

Rate this item
(0 votes)