May 10, 2024

කල්පිටිය සභාපතිගේ සොහොයුරාගේ වැලි තොටුපොල වටලයි

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහෝදරයෙකු විසින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පවත්වා ගෙන ගිය වැලි කැණීමේ ස්ථානයක් වැටලීමට කල්පිටිය පොලීසිය කටයුතු කර ඇත.

කල්පිටිය - ආන්දන්කන්නිය ප්‍රදේශයේ මෙම වැලි කැණීම සිදුකර ඇත.

එම ස්ථානයේ තිබී ට්‍රැක්ටර් රථ 03 ක්, කැටපිලර් යන්ත්‍රයක්, ටිපර් රථයක්  තමන් බාරයට ගෙන ඇති කල්පිටිය පොලීසිය සැකකරුවන් 16 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය ප්‍රදේශයේ ඇති ස්වාභාවික වැලි කඳු කපා ඒවායේ ඇති වැලි ඉවත් කිරීම සදහා ඇතමුන් විසින් බලපත්‍ර ලබා ගෙන ඇත. පොලීසිය විසින් වැටලීම සිදු කර ඇති ස්ථානයටද පතල් කැණීම් හා භූ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැලි ඉවත් කිරීම සදහා බලපත්‍රයක් ලබා දී ඇත. එම බලපත්‍රයට අනුව වැලි ඉවත් කළ යුත් වන්නේ අක්කර 01 පමණ ප්‍රමාණයක පමණි. නමුත් අක්කර 05 ක පමණ භූමි භාගයක අඩි 02 කට වඩා වැඩි ගැඹුරට වැලි ඉවත් කිරීමට සැකකරුවන් කටයුතු කර ඇත.

එමෙන්ම වැලි ඉවත් කළ හැක්කේ මිනිස් ශ්‍රමය භාවිතා කරමින් වුවත් ඒ සදහා සැකකරුවන් විසින් කැටපිලර් වර්ගයේ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම වැලි කැණීමේ කටයුත්ත සදහා පතල් හා කැණීම් කාර්යංශය විසින් බලපත්‍රය නිකුත් කර ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහෝදරයාගේ නමිනි. නමුත් වැටලීම සිදු කරන විට ඔහු එම ස්ථානයේ සිට නැත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

පුත්තලම- ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)