May 19, 2024

ලසන්ත ඇතුළු ඝාතනවල පරීක්ෂණ යළිත් අරඹයි

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළේ කවුද? එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට තමන් සතුව ඇති බවත් එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු යළි මුලසිට ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ප්‍රබල ප්‍රධානියකු සහ එම ආණ්‌ඩුවේ සිටි ඇමැතිවරයෙකු සම්බන්ධ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ලසන්ත ඝාතනය සම්බන්ධව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ ඇතුළත් කරුණු සියල්ල සත්‍ය බවත් මෙම ඝාතනයට වගකිවයුත්තන් පිළිබඳ තොරතුරු රැසක්‌ ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් යන අයගේ ඝාතන පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි කී ඇමැතිවරයා එම ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන කටයුතු ද යළි ආරම්භ කර ඉතා ඉක්‌මණින් ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන එන බව පැවසී ය.

Rate this item
(0 votes)