May 19, 2024

ආණමඩුවේ දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය නොලැබේ

ආණමඩුව - පල්ලම නන්දමිත්‍ර මහා විද්‍යාලය ද්වීතීක පාසලක් බවට පත් කිරීමත් සමගම ආරම්භ කරන ලද ප්‍රාථමික පාසලට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස බල කරමින් දෙමව්පියන් පිරිසක් අද (21) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය.

ආණමඩුව - හලාවත මාර්ගය අවහිර කරමින් පැවති මෙම විරෝධතාවය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල විය.

පල්ලම නන්දමිත්‍ර මහා විද්‍යාලය ද්වීතීක පාසලක් බවට පත් වීමත් සමගම එම විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කරන ලදි. ප්‍රාථමික දරුවන් වෙනුවෙන් පල්ලම නගරයේ එස්.ඩී.ආර්.ජයරත්න නමින් ප්‍රාථමික විද්‍යාලයක් ආරම්භ කරන ඇත්තේ ඒ සඳහාය. නන්දමිත්‍ර මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය තිබියදී අයදුම් කරන ලද සියළුම දරුවන්ව නව ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර ගන්නා බවට බලධාරීන් පොරොන්දු වී ඇත. නමුත් මෙම වසර සදහා එම ප්‍රාථමික පාසලට ඇතුළත් කර ගෙන ඇත්තේ දරුවන් 40 දෙනෙකු පමණි.තම දරුවන් වෙනුවෙන් වෙනත් පාසලකට අයදුම් නොකළ බැවින් ඔවුන්ට පාසලක් අහිමිවී ඇති බව විරෝධතාවයට එක්වී සිටින පිරිස් කියා සිටි.

විරෝධතාවය හේතුවෙන් ආණමඩුව - හලාවත මාර්ගයේ  ගමන් කළ වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යැවීමට පල්ලම පොලීසියේ නිලධාරීන් සිදු විය.

බලධාරීන් පැමිණ තම දරුවන්ව නව ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර ගන්නා බවට පොරොන්දු වන තුරු විරෝධතාවය අවසන් නොකරන බව විරෝධතාවයට එක්වී සිටින පිරිස් කියා සිටි.

ජූඩ් සමන්ත - පුත්තලම

Rate this item
(0 votes)