May 19, 2024

"මුල් පිටුව" නැති වුණේ ආණ්ඩුව නිසා නොවෙයි

ජනමාධ්‍යවල වැඩසටහන් තින්දු කිරීමෙහිලා මාධ්‍ය ආයතන වෙත කිසිඳු බලපෑමක් නොකිරීමේ රජයේ ප්‍රතිපත්තිය එපරිද්දෙන් ඉදිරියට ගෙන යන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාව මගින් විසුරුවා හරිනු ලබන "මුල් පිටුව" වැඩසටහන ඉදිරිපත් කරන බන්දුල පද්මකුමාර මහතා ඉවත් කිරීම රජයේ අවශ්‍යතාවය මත සිදුවූවක් බවට ඇතැම් මාධ්‍ය හුවා දක්වා තිබීම ජනමාධ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි. 

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් පරණවිතාන මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ. 

“ස්වර්ණවාහිනී ආයතනය උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහනක් ලෙස මෙතෙක් පවත්වාගෙන ආ "මුල් පිටුව" නැමැති වැඩසටහන ඉදිරිපත් කළ බන්දුල පද්මකුමාර මහතා එයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතන ඔස්සේ ඉදිරිපත් කෙරෙන අඳහස් පිළිබඳ ව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත. 

ඉහළින් පැමිණි නියෝගයක් මත එය සිදුවූවක් බවත් එසේම එය රජය මගින් සිදු කරන ලද්දක් යැයි වක්‍රව හැඟෙන ආකාරයටත් ජනමාධ්‍ය වැඩසටහන්වල අඳහස් පළ කර තිබේ. 

ස්වර්ණවාහිනී ආයතනය විසින් කරන ලද මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිඳු සම්බන්ධයක් නැත. එය හුදෙක් ම එම ආයතනය විසින් ගත් තීන්දුවක් බව අපගේ විශ්වාසයයි. එසේම ජනමාධ්‍යවල වැඩසටහන් තීන්දු කිරීමෙහිලා මාධ්‍ය ආයතනයක් වෙත කිසිඳු බලපෑමක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර ජනමාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීම ද රජයේ ප්‍රතිපත්තිය වේ. 

මේ ප්‍රතිපත්තිය පෞද්ගලික මාධ්‍යවලට මෙන් ම රාජ්‍ය මාධ්‍යවලට ද එකසේ අදාළ වන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර ඇත.“ යැයි එම නිවේදනයේ දැක්වේ.

 

Rate this item
(0 votes)