May 19, 2024

ගුවන් තොටුපොළ තීරු බදු රහිත වෙළෙඳසැල්වල බලපත්‍ර අහෝසියි 

කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කර තිබේ.

විධිමත් නීත්‍යනුකූල පදනමෙන් තොරව මෙම වෙළෙඳසැල් සඳහා පසුගිය කාලය තුළ බලපත්‍ර නිකුත් කර ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා ඊයේ (20) සිය අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී සඳහන් කර ඇත. 

පිළිගත් ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව විධිමත් හා වඩා විනිවිදභාවයෙන් යුතුව නැවතත් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොලේ තීරු බදු රහිත වෙළෙඳසැල් 56ක් පවතින අතර මත්තල එක් පුද්ගලයෙකුට පමණක් වෙළෙඳසැල් බලපත්‍රයක් නිකුත් කර තිබේ.

Rate this item
(0 votes)