May 19, 2024

බණ්ඩාරනායක අවි ගබඩාවේ 3422ක අවි අතුරුදන් - පොලීසිය 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයාගත් අවි ගබඩාවේ සඳහන් අවි ප්‍රමාණයට වඩා පරීක්ෂා කිරීමේදී හමුවූ අවි තොගය අතර අවි 3422ක හිඟයක් පවතින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නිකුත්කර ඇති සම්පූර්ණ ගිනි අවි ප්‍රමාණය 3473 ක් වුවද, ගබඩාවේ තිබී ඇත්තේ ගිනිඅවි 151 ක් පමණක් බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ. 

මීට දින කිහිපයකට පෙර කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ති‍්‍රවරයකු වන ලියනගමගේ දයාරත්න (ජාතික හෙළ උරුමය) යන අය විසින් පොලිසිය වෙත තොරතුරක් දැනුම් දි පවසන ලද්දේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ පරිශ‍්‍රයේ ඇති පුද්ගලික ආරක්‍ෂක අංශයකට අයත් අවි ගබඩාවක නීති විරෝධි ගිනි අවි ඇති බවයි. 

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි කොළඹ දකුණ රොෂාන් ඩයස් ස්ථානාධිපති කුරුඳුවත්ත ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක දෙල්ගහපිටිය ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර අදාළ අවි ගබඩාව සීල් තබන ලදී. 

ඉන් පසුව 2015.01.19 වන දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත මෙම අවි ගබඩාව පරික්‍ෂා කළ අතර මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමන් දිසානායක මහතාද සහභාගි විය. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලේඛන පරික්‍ෂා කිරිමේදී පහත කරුණු අනාවරණය විය. 

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් තබා ගැනිමට අවසරය ලබා දී තිබු අවි ප‍්‍රමාණය පහත පරිදි වේ. 

01. T- 56 - 2300 

02. 84-S - 670 

03. LMG - 385 

04. MPMG - 10 

05. SLR - 11 

08. පිස්තෝල - 08

09. බෝර 12 රිපිටර් - 79

11. - ෂොට් ගන් - 10

එකතුව - 3473

 

පරික්‍ෂා කිරීමේදී තිබුණූ ප‍්‍රමාණය 

01. T- 56 - 44 

02. 84-S - 35 

03. LMG - 32 

04. MPMG - 1 

05. SLR -   - 

08. පිස්තෝල -   -

09. බෝර 12 රිපිටර් - 29

11. ෂොට් ගන් - 10

එකතුව - 151 

ඒ අනුව නිකුත් කර ඇති සම්පුර්ණ ගිනි අවි ප‍්‍රමාණය 3473 ක් වුවද ගබඩාවේ තිබී ඇත්තේ 151 කි. ඒ අනුව ඌණතාවය 3322 කි. 

මෙම ඌණතාවයට හේතුව අදාළ ගිනි අවි විවිධ රාජකාරි සඳහා නිකුත් කර ඇති බව පුද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරින් පොලිසියට දන්වා ඇත. 

එම ගිනිඅවි නිකුත් කර ඇති ආකාරය සහ නිකුත් කර ඇති පතොරොම් සම්බන්ධව පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

 

Rate this item
(0 votes)