May 19, 2024

'මිතුරෙකුගේ නිවසකට යන්නත් බෑ' - නාමල් රාජපක්ෂ     

ලැම්බෝගිනි රේසිං කාර් ඇතැයි ලැබුණු තොරතුරක් අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන පරීක්ෂා කර ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවසේ සී ප්ලේන් ගුවන්යානයක් සහ ලැම්බෝගිනි මෝටර් රථයක රෝද සඟවා ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත ඒවා සොයා ඊයේ (19) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කළ බවත් එහෙත් පරික්ෂාවේදී එවැනි වාහන නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය. 

දිගින් දිගටම රාජපක්ෂ පවුලට එරෙහිව විවිධ චෝදනා නගමින් මේ ආකාරයෙන් හිරිහැර කරන්නේ තිස් අවුරුදු ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරාගෙන සාමය උදා කළ නායකයාට බව අද මේ හිරිහැර කරන්නන්ට අමතක වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 

මෙම සෝදිසි කිරීම සිදුවන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා හෝ තමන් නිවසේ නොසිටි බවද අස්ථාන චෝදනා නගමින් කරන බොරු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට පෙරාතුව ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබලා බොරු පැමිණිලිකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යෙදවීමට වගකිවයුත්තන් පියවර ගත යුතු බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය මත තමාගේ හෝ සොහොයුරන්ගේ මිතුරකුගේ නිවසකටවත් යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද තමන් හෝ සොහොයුරන් මිතුරකුගේ නිවසකට ගොස් පැමිණි වහාම ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමට පොලිසිය කඩාපනින කනගාටුදායක වාතාවරණයක් ඇති වී තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)