May 19, 2024

UGC සභාපතිනියට ඉවත්වන ලෙස ඉල්ලීමක් 

බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මියට එම තනතුරින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (19) ඉල්ලා සිටියේය.

සභාපති ධුරයේ තත්ත්වය හා බලය අනවශ්‍ය ලෙස උපයෝගි කරගනිමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ බව ද එලෙස කටයුතු කරමින් වැදගත් රාජ්‍ය ආයතනයක්‌ දේශපාලනීකරණයට ලක්‌ කළ බැවින් ඉල්ලා අස්‌වන ලෙස ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සභාපතිවරියට භාරදුන් ලිපියේ සඳහන් වෙයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ලිපියක්‌ අනුව රුහුණ විශ්වවිද්‍යාලයට සිසුවියක ඇතුළත් කිරීම, අතිරේක ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී ප්‍රංශයේ පැවැති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි කරවීම, නැගෙනහිර සහ යාපනය යන විශ්වවිද්‍යාලයන්හි අක්‍රමිකතා සම්බන්ධ චෝදනා නොසලකා හැරීම යන කරුණු ද සභාපතිවරියට භාර දී ඇති ලිපියට ඇතුළත් වේ.

තවද පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලබාදීමේදී පවතින ක්‍රමවේදයේ බැහැර කිරීම මෙන්ම සිය සැමියා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳව ද සම්මේලනය සිය ලිපියේ සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)